ශ්‍රී ලංකාවේ සිදුවීයැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් පිළිබඳ නඩු විභාග කිරීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය යටතේ හෝ ජාත්‍යන්තර අධීක...
ශ්‍රී ලංකාවේ සිදුවීයැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් පිළිබඳ නඩු විභාග කිරීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය යටතේ හෝ ජාත්‍යන්තර අධීක්ෂණය යටතේ හෝ විශේෂ අධිකරණයක් මෙරට පිහිටුවන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටින යෝජනාවක් උතුරු පළාත් සභාවේදී පසුගියදා (30) ඒකමතිකව සම්මත විය.
මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා විසිනි.
යුද අපරාධ චෝදනා එල්ල වන හමුදා නිලධාරීන්ට සහ සාමාජිකයන්ට විදේශගත විය නොහැකි වන ආකාරයට ඔවුන්ට වීසා ලබාදීම සෑම රටක් විසින්ම ප්‍රතික්ෂේප කළ යුතු යැයි ද මෙම යෝජනාවේ සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ පැහැදිලි වේගවත් ප්‍රගතියක් සිදුවන තුරු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට හමුදා තහනමක් පැනවිය යුතු යැයි ද එහි දැක්වේ.
2015 වසරේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහය මත සම්මත කරගත් 30-1 යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම සඳහා තවත් දෙවසරක කාලයක් දෙමින් 2017 වසරේ දී සම්මත කරගත් 34-1 යෝජනාව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බව ද ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රගතියක් සිදුවී නැති බව ද සිවාජිලිංගම් මහතා සිය යෝජනාවෙන් පෙන්වා දී තිබේ.
යුද්ධයෙන් අගතියට පත් දෙමළ ජනතාවගේ තත්ත්වය, දෙමළ දේශපාලන සිරකරුවන්ගේ තත්ත්වය, අතුරුදන්වූවන් පිළිබඳ ගැටලුව, දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කර ගනිමින් තවමත් රැඳී සිටින ආරක්ෂක හමුදාවේ ක්‍රියා කලාපය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි නොකිරීම ආදී ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතයකු වෙනම පත් කරන ලෙස සිවාජිලිංගම් මහතා මෙම යෝජනාව මගින් ඉල්ලා සිටී. උතුරු නැගෙනහිර දෙමළ ජනතාව පිළිගන්නා දේශපාලන විසඳුමක් ලබාදීම සඳහා එක්සත් ජාතීන්ගේ අධීක්ෂණය යටතේ එම පළාත්වල ජනමත විචාරණයක් පවත්වන ලෙස ද සිවාජිලිංගම් මහතා යෝජනා කර ඇත.
උතුරු පළාත් සභාවේ 130 වන සැසිවාරය එහි සභාපති සී.වී.කේ. සිවඥානම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති අතර එහිදී මෙම යෝජනාව ඒකමතිකව සම්මත විය.
COMMENTS