මන්ත්‍රී වැටුප් වැඩි කිරීම පිළිබඳ යෝජනා කර ඇත්තේ, ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ...
මන්ත්‍රී වැටුප් වැඩි කිරීම පිළිබඳ යෝජනා කර ඇත්තේ, ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසයි.
නුගේගොඩ ගංගොඩවිල ප්‍රදේශයේ පැවති පුණ්‍යෝත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇති අතර මැති ඇමති වැටුප් වැඩිකිරීමට තමන්ද විරුද්ධ බවත් සඳහන් කර ඇත.
මන්ත්‍රී වැටුප් වැඩි කිරීමේ කතාව
පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ පඩි වැඩි කිරීමට යන බවට වූ පුවතට පුළුල් ප්‍රචාරයක් සමාජ මාධ්‍ය හරහා මෙන්ම ප්‍රධාන මාධ්‍ය ධාරාවේ මාධ්‍ය මගින් ද හිමිව ඇත.
පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා වෙමින් තිබෙන බව කථානායක කාර්යාලය ද තහවුරු කරයි.
මැති ඇමතිවරුන්ගේ වැටුප 215% වැඩිකිරීමේ යෝජනාවක් කථානායක කරු ජයසූරියට ඉදිරිපත් කර තිබෙන බව ජාතික පුවත්පත් වාර්තා කළ අතර එයට ප්‍රතිචාර දක්වමින් කථානායක කාර්යාලය ඊයේ (අගෝස්තු 03) දින නිවේදනයක් නිකුත් කර තිබුණි.
නිවේදනයේ දැක්වෙන්නේ 2006 වසරේ නොවැම්බර් 23 වෙනි දින පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් අනුව උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප් වැඩි වන අවස්ථාවන්හිදී ඊට සමාන්තරව පාර්ලිමේන්තුවේ මැති ඇමති වැටුප් වැඩි කිරීමද සිදු විය යුතු බව ය.
ඒ අනුව මෑතකදී කළ උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප් වැඩිවීම අනුව මැති ඇමති වැටුප් ද සංශෝධනය විය යුතු බවට යෝජනාවක් කථානායකවරයාට ලැබී තිබෙන බව එම නිවේදනයේ සඳහන් වේ.
කෙසේ නමුත්, මැති ඇමති වැටුප් වැඩි කිරීමක් පිළිබඳව මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බව එම නිවේදනයෙන් අවධාරණය කර ඇත.
"තීරණයකට එළැඹීමේදී 2006.11.23 තීරණය පරිදි කටයුතු කරන්නේ ද නොඑසේනම් එය වෙනත් ආකාරයකට කටයුතු කළ යුතුද යන්න පිළිබඳව පාර්ලිමේන්තු පක්ෂ නායක රුස්වීමේදී කරුණු විමසීමෙන් අනතුරුව අවසාන වශයෙන් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිත අදහස් ද විමසිමට හැකියාව ඇති බව දන්වා සිටිමු" යැයි එහි සඳහන් වේ.
මේ අවස්ථාවේ නුසුදුසු බව:
මේ අතර පක්ෂ විපක්ෂ ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජිතයන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යෝජනා කර ඇති වැටුප් වැඩිවීම මේ අවස්ථාවේ නුසුදුසු බව ප්‍රකාශ කර තිබේ.
එවැනි යෝජනාවක් මුදල් අමාත්‍යංශයට ලැබී නොමැති බව අමාත්‍ය මංගල සමරවීර ඊයේ දින මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ අතර "දේශපාලනඥයන්ට නොවේ කිසිදු පුද්ගලයකුට මේ මොහොතේ පඩි වැඩි කරනවාට තමන් විරුද්ධ" බව ද ඔහු ප්‍රකාශ කර තිබුණි.
එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය හරින් ප්‍රනාන්දු ද බීබීසී සිංහල සේවයට පැවසුවේ එක්සත් ජාතික පක්ෂය ද මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිකිරීමට එකඟ නොවන බවය.
ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයා ද මේ ගැන අදහස් දක්වමින් පැවසුවේ මේ මොහාතේ මන්ත්‍රීවරුන්ට පඩි වැඩිකිරීම යුක්තිසහගත නොවන බවය.
"ජනතාවට බදුපිට බදු ගහලා මන්ත්‍රීවරුන්ට පමණක් වැටුප් වැඩි කිරීම අසාධාරණයි" යනුවෙන් ඔහු පැවසීය.
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද ට්විටර් පණිවිඩයක් තබමින් ජනතාව වෙත අධික බදු බරක් හා ජිවන බරක් පටවා ඇති අවස්ථාවක මන්ත්‍රී වැටුප් වැඩිකිරීමේ තීරණය සාධාරණ නොවන බව පවසා තිබුණි.
අවසන් වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දීමනා වැඩිවුයේ 2016 වසරේ නොවැම්බර් මාසයේදී ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා සඳහා කාර්යාලය දීමනාවක් ලෙස රුපියල් ලක්ෂයක මාසික දීමනාවක් මෙන්ම පාර්ලිමේන්තුවට පැමිණීමේ දීමනාව දිනකට රුපියල් 2500ක් දක්වා ඉහළ දැමීම ද එහිදී සිදුවිය.
COMMENTS