දුම්රිය හරස් මාර්ග, විදුලි සංඥා නොතකමින් කටයුතු කරන රියැදුරන්ට රුපියල් 25,000 ක මුදල් දඩයක් නියම කිරීමට නීති විධි විධාන මේ වන විටත් සකස් ...
දුම්රිය හරස් මාර්ග, විදුලි සංඥා නොතකමින් කටයුතු කරන රියැදුරන්ට රුපියල් 25,000 ක මුදල් දඩයක් නියම කිරීමට නීති විධි විධාන මේ වන විටත් සකස් කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අැමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
දුම්රිය හරස් මාර්ගවලදී සිදු වන අනතුරු අවම කිරීම සඳහා මෙම තීරණය ගනු ලැබූ බවද ඇමැතිවරයා කීවේය.
ශ්‍රී ලංකාවේ දුම්රිය හරස් මාර්ගවලින් වසරකට අනතුරු 75 ක් පමණ සිදු වන අතර මුහුදු බඩ මාර්ගයේ පමණක් 2016 වසරේ සිට 2018 මේ මස වන විට අනතුරු 54 ක් සිදු ව තිබේ.
මේ තත්ත්වය ඉතාමත්ම ඛේදනීය බැවින් හා තවදුරටත් ආණ්ඩුව ලෙස මෙවැනි ජීවිත හානි හා දේපොළ විනාශවීමට ඉඩ නොතැබිය යුතු බැවින් ආණ්ඩුව මෙම විධි විධාන සකස් කළ බව ද හෙතෙම සඳහන් කෙළේය.
හික්කඩුව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ග විදුලි සංඥා පද්ධති 10ක් විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
මෙම ව්‍යාපෘතිය යටතේ දුම්රිය මාර්ග විදුලි සංඥා පද්ධති 200 ක් ස්ථාපනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කැර ඇත. ව්‍යාපෘතිය සඳහා වැයවන මුළු වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 6.4 ක් වන අතර, තනි දුම්රිය මාර්ග සඳහා විදුලි සීනු පද්ධති 175 ක් සහ ද්විත්ව මාර්ග සඳහා විදුලි සීනු පද්ධති 25 ක් ස්ථාපිත කිරීම මේ යටතේ ආරම්භ කැර ඇත. මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ පෞද්ගලික සමාගමක් වන යුනි කන්සල්ටන්සි සර්විස් (Uni-Consultancy Services) ආයතනය විසින් දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම විදුලි සංඥා පද්ධති 200 ව්‍යාපෘතියට අමතරව හංගේරියානු රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත තවත් විදුලි සංඥා පද්ධති 200 ක් ස්ථාපිත කිරීමට අැමැති මණ්ඩලයේ අනුමැතිය ලබාගත් බවද අැමැතිවරයා ප්‍රකාශ කෙළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ඇමැතිවරයා මෙසේ ද කීවේය.
ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය තුළ හරස් මාර්ග 1337 ක් පවතින අතර, ඉන් හරස් මාර්ග 526 ක් සඳහා නිසි ආරක්ෂාව සපයා තිබෙනවා. තවමත් අනාරක්ෂිත හෙවත් බම්බු ගේට්ටු මඟින් ආරක්ෂාව සපයනු ලබන හරස් මාර්ග 626 ක් තිබෙනවා. මෙම ව්‍යාපෘතිය නිමවීමත් සමඟම එම අනාරක්ෂිත හරස් මාර්ග ගේට්ටු ප්‍රමාණය අවම කිරීමට හැකි වෙනවා.
ඒ වගේම ප්‍රධාන දුම්රිය හරස් මාර්ග හා බහුල වශයෙන් රථවාහන ගමන්ගන්නා දුම්රිය හරස් මාර්ග ඇති ස්ථාන වලට CCTV කැමරා සවිකිරීමටත්, නිරන්තරයෙන් මෙම කැමරා පද්ධති වල රූපරාමු නිරීක්ෂණය කිරීමටත් කටයුතු සැළසුම් කරනවා. ඒ තුළින් මාර්ග නීති නොපිළිපදින අය පිළිබඳව අවධානය යොමු කරන්නත්, ඔවුන් පිළිබඳ නීතියෙන් කටයුතු කරන්නත් හැකියාව ලැබෙනවා. මෙම හරස් මාර්ග විදුලි සංඥා පද්ධතීන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සකස් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව හා ප්‍රවාහන අමාත්‍යාංශය අවශ්‍ය විධි විධාන සළසා තියෙනවා. මෙහි තවත් පියවරක් වශයෙන් මොරටුව විශ්ව විද්‍යාලය හා එක්ව ශ්‍රී ලාංකික තාක්ෂණය හා දැනුම එකතු කර ගනිමින් මේ සඳහා අවශ්‍ය උපකරණ රාශියක් ලංකාවෙන්ම නිෂ්පාදනය කර ගනිමින් ඉතිරි සියලුම දුම්රිය හරස් මාර්ග සඳහා සංඥා පද්ධති යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ තුළින් දේශීය කර්මාන්තයටත් දේශීය තාක්ෂණයටත් තැනක් ලබාදෙමින් මෙම මාර්ග පද්ධතිය සඳහා ආරක්ෂණ විධි විධාන සැළැස්වීමට අප කටයුතු කරනවා. මේ තුළින් අපට පිටරටට ඇදී යන විශාල මුදලක් ද ඉතිරිකර ගන්න පුළුවන් යැයිද වැඩිදුරටත් පැවසීය.
මෙම සංඥා පද්ධති විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අැමැති අශෝක් අබේසිංහ, අමාත්‍යාංශ ලේකම් ජී.එස්.විතානගේ, දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්.අබ්වික්‍රම මහත්වරු ඇතුළු නිලධාරීන් රැසක් ද සහභාගී විය.
COMMENTS