ශ්රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම පසුගිය මැයි මාසයේ පළමු වැනිදා සිට ක්‍රියාත්මක වෙමින් පවතින බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර...
ශ්රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම පසුගිය මැයි මාසයේ පළමු වැනිදා සිට ක්‍රියාත්මක වෙමින් පවතින බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (18) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙම ගිවිසුම ක්‍රියාත්මක වන්නේ නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව බවද ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.
මේ අතර පසුගියදා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසූවේ සිංගප්පූරු ගිවිසුම ශ්‍රී ලංකා රජය අත්සන් කර අවසන් බවයි.
මේ වන විට ලෝකයේ තිබෙන ප්‍රවණතාව වන්නේ රටවල් අතර මෙවැනි ගිවිසුම් ඇති කර ගැනීම බවත් ඒ තුලින් එම රටවල ආර්ථිකය ඉදිරියට ගෙන යා හැකි බවත් ඊට විරුද්ධව මෙරට පුද්ගලයින් කතා කරන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
සිංගප්පූරු ගිවිසුම පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා පත්කළ කොමිසම මගින් එම ගිවිසුමේ වෙනසක් ඇති කළ යුතු යැයි නිර්දේශ කළ හොත් ගිවිසුමේ අදාල කාරණා වෙනස් කළ හැකිද? යන්න එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසූවේ ජනාධිපතිවරයා කොමිසමක් පත් කරන්නේ මේ පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට බවත් නමුත් මේ වන විට එම ගිවිසුම් අත්සක් කර අවසන් බවත්ය.
පළමුව බැලිය යුත්තේ එම කොමිසමේ නිර්දේශ මොනවාද යන්න බවත් හෙතෙම වැඩිදුරටත් පැවසී ය.
මේ අතර පසුගියදා ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ‍්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකොට වාර්තා කිරීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් ස්වාධීන විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර ඇති බවයි.
මෙම ගිවිසුම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් ජනාධිපතිවරයා වෙත ලැබී ඇති අදහස් සලකා බලමින් ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත් කර ඇති බව එම නිවේදනයේ දැක්වේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, විශ‍්‍රාමලත් ආර්ථික විද්‍යා මහාචාර්ය දේශමාන්‍ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා එම කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙන අතර, ශ‍්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ, කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය අජිතා තෙන්නකෝන්, ස්වාධීන උපදේශක ආචාර්ය සනත් ජයනෙත්ති, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපති ආර්.ඒ. ජයතිස්ස යන මහත්වරුන් එහි සෙසු සාමාජිකයෝ වෙති.
ඒ අනුව ශ‍්‍රී ලංකා - සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් සිදුකිරීමටත්, යෝජිත නව වෙළෙඳ ප‍්‍රතිපත්තියේ ප‍්‍රායෝගික බලපෑම් හා භාවිතයන් ද, ඉදිරියේ දී ශ‍්‍රී ලංකාවේ වෙළෙඳ ප‍්‍රතිපත්තිය සකස් කිරීම සඳහා අවශ්‍ය ප‍්‍රතිපත්තිමය මගපෙන්වීම සඳහා වූ නිර්දේශ ලබා ගැනීමටත් එමගින් අපේක්ෂිතය.
විශේෂඥ කමිටුවේ කාර්යභාරයෙහි ප‍්‍රගතිය වරින්වර අතුරු වාර්තා මගින් ජනාධිපතිවරයා විසින් සොයා බැලීමට කටයුතු කරනු ලබන අතර, අවසන් වාර්තාව මාස දෙකක් ඇතුළත භාරදීමට නියමිතය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා - සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කර ඇත්තේ රජය එම ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුවය.
එම කමිටුව මගින් නිර්දේශ ඉදිරිපත් කළද රාජ්‍ය තාන්ත්‍රිකව අත්සන් කළ ගිවිසුමක් පසුව වෙනස් කළ හැකිද යන්න දැඩි ගැටලුකාරී තත්ත්වයක් ඇතිව තිබේ.
මේ හේතුවෙන් ජනාධිපතිවරයා කඩිමුඩියේ පත් කළ මෙම කමිටුව පුස්සක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.
COMMENTS