අධිකරණ නියෝගයක් මත 12 වනදා සවස හෝමාගම අධිකරණයට පැමිණි යුද හමුදාවේ බුද්ධි අංශ අධ්‍යක්ෂකවරයා හෝමාගම මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු උදේ...
අධිකරණ නියෝගයක් මත 12 වනදා සවස හෝමාගම අධිකරණයට පැමිණි යුද හමුදාවේ බුද්ධි අංශ අධ්‍යක්ෂකවරයා හෝමාගම මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ එම නිල කාමරයේදී බුද්ධි අංශ මේජර්වරුන් තිදෙනෙකු පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කර වාර්තාවක් ද දී ඇත.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීම පිළිබඳ නඩුව දොළොස් වන දා සවස හෝමාගම අධිකරණය යළි විභාගයට ගත් අවස්ථාවේ විනිසුරු උදේශ් රණතුංග මහතාගෙන් ඉල්ලීමක් කළ යුද හමුදා නීති අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ඊ.එස්.ජයසිංහ මහතා යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂකවරයාගේ ආරක්ෂාව සඳහා ඔහුට විනිසුරු නිල කාමරයේ ප්‍රකාශයක් ලබාදීමට අවස්ථාව දෙන ලෙස අයැද සිටියේය.
එයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විරුද්ධත්වයක් නොදැක්වීමෙන් නඩු විභාගය කල් තැබූ විනිසුරු රණතුංග මහතා සිය නිල කාමරයට ගිය අවස්ථාවේ අධිකරණය පිටුපසින් පැමිණ ඒ වෙත ඇතුළුව බුද්ධි අධ්‍යක්ෂවරයා ප්‍රකාශය හා වාර්තාවක් දීමෙන් පසුව පිටත් ව ගියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විනිසුරුවන්ගෙන් කළ ඉල්ලීමක් අනුව යුද හමුදා බුද්ධි අංශයේ මේජර්වරුන් තිදෙනෙකු සම්බන්ධ ප්‍රකාශයක් ලබාදීමට එම බුද්ධි අධ්‍යක්ෂවරයා අධිකරණ නියෝගයක් මත කැදවනු ලැබ සිටියේය.
එක්නැලිගොඩ නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක එච්.එම්.ඩි.ප්‍රේමතිලක හා සැරයන් 3701 උඩවත්ත යන මහත්වරුන් අධිකරණයට පැමිණ සිටියෝය.
යුද හමුදාවේ නීති අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ඊ.එස්. ජයසිංහ මහතා සමඟ මේජර් කරුණාතිලක මහතා ද නඩුවේ සැකකරුවන් නවදෙනා වෙනුවෙන් නීතිඥ තිළිණ කොල්ලුරේ මහතා සමග ජේෂ්ඨ නීතිඥ ලාල් කුලරත්න හා නීතිඥ රසික බාලසූරිය යන මහත්වරුද අධිකරණයට පැමිණ සිටියහ.
නඩුව ලබන 19 වන දින නැවත විභාගයට ගැනීමට හා එදිනද යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා අධිකරණයට පැමිණීමට නියමිතය.
COMMENTS