ලොව මිල අඩුම මොටර් රථය ලෙසින් 2008 වසරේ දී නිෂ්පාදනය ඇරඹුණු ටාටා නැනෝ මෝටර් රථයෙහි නිෂ්පාදන කටයුතු 2019 වසරෙන් ඔබ්බට ක්‍රියාත්මක නොවනු ඇත...
ලොව මිල අඩුම මොටර් රථය ලෙසින් 2008 වසරේ දී නිෂ්පාදනය ඇරඹුණු ටාටා නැනෝ මෝටර් රථයෙහි නිෂ්පාදන කටයුතු 2019 වසරෙන් ඔබ්බට ක්‍රියාත්මක නොවනු ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත් සේවය අනාවරණය කර සිටී.
මීට ප්‍රධානතම හේතුව ලෙසින් වාර්තා වී ඇත්තේ ඉන්දියාව තුළ මෙම මෝටර් රථය සඳහා ඇති ඉල්ලුම සීඝ්‍රයෙන් පහළ බැස තිබීමත්, මේ හේතුව නිසා ටාටා නැනෝ නිෂ්පාදනය මුළුමනින්ම පාහේ වර්තමානයේ දී නැවතී තිබීමත්ය.
මෙම වාර්තාවට අනුව පසුගිය ජූනි මාසයේ දී ටාටා සමාගම විසින් නිෂ්පාදනය කර ඇත්තේ එක් නැනෝ මෝටර් රථයක් පමණි. නමුත් 2017 වසරේ ජූනි මාසයේ දී ටාටා සමාගම නැනෝ මෝටර් රථ 275 ක් නිෂ්පාදනය කර ඇති අතර ඉන් 25 ක් අපනයනය කර තිබේ. 2018 ජූනි මාසයේ දී සමාගම කිසිදු නැනෝ මෝටර් රථයක් අපනයනය කර නොමැත.
කෙසේ වෙතත් ඉන්දියානු වෙළෙඳපොළ තුළ ටාටා නැනෝ රථය අසාර්ථක වුවද පසුගිය කාලපරිච්ඡේදය තුළ දී මෝටර් බයිසිකල්, කාර් හා ට්‍රක් රථ වෙළෙඳපොළෙහි කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වී තිබේ. එහිදී 2018 ජූනි මාසයේ දී SUV ඇතුළු මෝටර් කාර් 38% කින්, වාණිජ රථ 42% කින් හා මෝටර් බයිසිකල් වෙළෙඳපොළ 22% කින් වෙළෙඳපොළ වර්ධනය වී තිබේ.
මිල අඩු quadricycle රථ වෙළෙඳපොළට පැමිණීමත් මීට අමතරව ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා ජනතාව යොමු වීමත් යනා දී හේතූන් ඇතුළුව ඉදිරියේ දී ටාටා නැනෝ හට වෙළෙඳපොළ තුළ තැනක් අත්පත් කර ගැනීම අසීරු වී ඇති බව මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ඉන්දියානු මාධ්‍ය වාර්තා කර සිටී.
COMMENTS