තම දෙමව්පියන් සිහි කිරීම සඳහා කෞතුකාගාරයක් ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් ලක්ෂ 900කට ආසන්න ප්‍රමාණයක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ආ...
තම දෙමව්පියන් සිහි කිරීම සඳහා කෞතුකාගාරයක් ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් ලක්ෂ 900කට ආසන්න ප්‍රමාණයක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාබය රාජපක්ෂට නුදුරේදීම අධිචෝදනා පත්‍ර භාරදෙනු ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් දැනට හෙළිදරව් වී ඇති සාක්ෂි මත පදනම් වෙමින් මහාධිකරණය හරහා ගෝඨාබය රාජපක්ෂට කෙළින්ම අධිචෝදනා පත්‍ර භාරදීමට නීතිපතිවරයා කැමැත්ත පළ කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පියා වන ඩී. ඒ. රාජපක්ෂගේ 47 වන ගුණ සමරුවට සමගාමීව 2014 නොවැම්බර් 06 වනදා ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය විවෘත කෙරිණි. මෙම කෞතුකාගාරය ඉදිකිරීම සඳහා එවකට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සහ නාවික හමුදාවේ සම්පත් යොදවා ගැනීම තුළින් රජයේ මුදල් හා දේපළ රුපියල් ලක්ෂ 900කට ආසන්න ප්‍රමාණයක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ගෝටාබය රාජපක්ෂට චෝදනා එල්ල වී තිබේ.
මෙම චෝදනා එල්ල වූ අවස්ථාවේදී ඊට මුහුණ දෙමින් තම නිරවද්‍ය භාවයක් ඇත්නම් එය ඔප්පු කිරීමට උත්සාහ දරනවා වෙනුවට ගෝටාබය රාජපක්ෂ කළේ තමන්ව අත් අඩංගුවට ගැනීමෙන් වළක්වාලන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය වෙත යාමය. අභියාචනාධිකරණයේදී ලැබුණු නියෝගයක් අනුව ඔහු ඊයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ පෙනී සිටිමින් පැය 3ක ප්‍රකාශයක් ද ලබා දී තිබිණි.
දෙමව්පියන්ට සැලකීම හොඳ දෙයකි. මළගිය දෙමව්පියන් වෙනුවෙන් සොහොන් ඉදිකිරීම ද දරුවන්ගේ කැමැත්තකි. එහෙත් තමන්ගේ මළගිය දෙමව්පියන් වෙනුවෙන් රටේ දුප්පත් දෙමව්පියන්ගේ බදු මුදල් හා ඒ බදු මුදලින් නඩත්තු වන රජයේ සම්පත් හොරා කා සොහොන් කොත් ඉදිකිරීම යනු මළවුන්ටත් නිගා දෙන නිහීන වැඩකි. මේවා හෙළිදරව් වී ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙන විට ගෝටාබයලා නහයෙන් අඬන්නේ දේශපාලන පළිගැනීම් ගැන කියමිනි.
එසේම මව්පියන්ගේ සොහොන වෙනුවෙනුත් රජයේ මුදල් හා දේපළ හොරා කෑ ගෝටාබය රටවටා යමින් මූල්‍ය විනය ගැන දේශනා පැවැත්වීම මීටත් එහා යන ලෝක විහිළුවකි.
(LNW)
COMMENTS