රුපියල් කෝටි 2 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ. මහානාම සහ ...
රුපියල් කෝටි 2 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක යන සැකකරුවන් තවදුරටත් ලබන 05 දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
එම පැමිණිල්ල අද (22) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම සැකකරුවන් දෙදෙනා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ව්‍යාහාරික විද්‍යාගාරය වෙත යොමු කර ඔවුන් ගේ කටහඬවල් පිළිබඳ වාර්තාවක් ලබාගැනීමට අවශ්‍යව ඇති බව දන්වා සිටියේය.
ඒ සඳහා රජයේ රස පරීක්ෂකවරයාගේ කාර්යාලය වෙත නියම කරන දිනයක සැකකරුවන් එහි රැගෙන යන මෙන් නියෝගයක් බන්ධනාගාර අධිකාරිවරයාට නිකුත් කරන මෙන් ද අල්ලස් කොමිසමේ නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ දන්වා සිටියේ එවැනි පරීක්ෂණයක් සිදු කිරීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහය තුළ කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බවයි.
මෙහිදී මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පාර්ශවකරුවන්ට කියා සිටියේ මෙම ඉල්ලීම පිළිබඳව අධ්‍යනය කර තමා මීළඟ නඩු දිනයේදී තීරණයක් ලබා දෙන බවයි.
අනතුරුව සැකකරුවන් දෙදෙනා ලබන 05 දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන්න නියම කළේය.
මේ අතර මීරිගම ලංකා ඉන්ඩස්ට්‍රීස් නමැති සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකු අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් කන්තලේ සීනි සමාගමට අදාල යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේ ටෙන්ඩරය මුලින්ම තමන් වෙත ලැබුණු බව කියා සිටියේය.
එය රුපියල් මිලියන 540 ක මුදලකට ලබා දීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබියදී මහානාම නමැති සැකකරුගේ මැදිහත් වීමෙන් එය අවලංගු කෙරුණු බව කියා සිටි එම නීතිඥවරයා අගතියට පත් එම සමාගමට මෙම පරීක්ෂණය සඳහා මැදිහත් වීමට අවසර දෙන මෙන් අධිකරණයෙන් ඉල්ලීම් කළේය.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා අදාළ සමාගමට දන්වා සිටියේ මෙම සිද්ධිය පිළිබඳව දන්නා කරුණු තිබේ නම් ඒවා අල්ලස් කොමිසම වෙත ගොස් ලබා දීමට පියවර ගන්නා ලෙසයි.
COMMENTS