ගුවන් මගීන්ට සිදුවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා ගුවන් ගමන් ආරම්භයට පැය 3 කට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය මග...
ගුවන් මගීන්ට සිදුවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා ගුවන් ගමන් ආරම්භයට පැය 3 කට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය මගීන් වෙත නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.
ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරී සංගමය විසින් ආරම්භ කර තිබෙන අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් සිදුවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීමේ අරමුණින් මෙම නිවේදනය කර ඇති බව සඳහන් වේ.
අද (17) දහවල් 12.00 සිට නැවත දැනුම් දෙනතුරු මෙම නිවේදනය බල පැවැත්වෙන බව ද ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකා ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් පිරිසක් සිය ප්‍රධාන ඉල්ලීම් 03ක් මුල් කරගනිමින් විරෝධතා ව්‍යාපාරයක් අද දහවල් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය ඉදිරිපිට දී පැවැත්වූ බව අප ගුවන්තොටුපල වාර්තාකරු පැවසී ය.
විරෝධතා පුවරු පමණක් ප්‍රදර්ශනය කරමින් ආගමන - විගමන නිලධාරීන් 200 ක් පමණ පිරිසක් ඊට එක් වී සිටියහ.
ආගමන - විගමන සේවාව සදහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම, විදේශ දූත මණ්ඩල සදහා ආගමන - විගමන නිලධාරීන් අනුයුක්ත කිරීම සහ දෙපාර්තමේන්තු නඩු පැවරීමේ අංශය නැවත ස්ථාපිත කිරීම යන ඉල්ලීම් 03 මුල් කර ගනිමින් මෙම විරෝධතා ව්‍යාපාරය දියත් කරන බව ශ්‍රී ලංකා ආගමන - විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුර කණුගල මහතා පැවසීය.
අද දහවල් 11.00ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි මෙම සංගමයේ සාමාජිකයන්, පැයක පමණ කාළයක් රැස් වී සාකච්ඡා කිරීමෙන් පසුව එම සාමාජිකයන් දැනුවත් කිරීමේ රැස්වීමක් ද පවත්වා තිබේ.
ඉන් අනතුරුව දහවල් 12.00 සිට 1.00 දක්වා වූ කාළය තුළ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය ඉදිරිපිට දී මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ සියලුම අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මෙන්ම සියලුම වරාය වල අද මධ්‍යම රාත්‍රී 12.00 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන බවද එම සංගමයේ සභාපති අනුර කණුගල මහතා වැඩිදුරටත් පැවසී ය.
(කටුනායක ටී.කේ.ජී.කපිල )
COMMENTS