විශ්වාසභංගය විවාදයට ගැනීමට පෙර තනතුරින් ඉල්ලා අස්‌වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමැතිවරු කරන ලද ඉල්ලීම සම්පූර්ණයෙන්ම ඉවත දැමීමට අ...
විශ්වාසභංගය විවාදයට ගැනීමට පෙර තනතුරින් ඉල්ලා අස්‌වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමැතිවරු කරන ලද ඉල්ලීම සම්පූර්ණයෙන්ම ඉවත දැමීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්‌සත් ජාතික පෙරමුණ ඊයේ (03) තීරණය කළහ.
එම පෙරමුණේ පක්‍ෂ නායකයන් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අගමැති සමඟ අදහස් හුවමාරු කර ගැනීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරින් ඉවත් නොවී විශ්වාසභංග යෝජනාවට මුහුණ දී එය පරාජය කළ යුතු බවටද එහිදී තීරණය වි ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සියලුම මැති ඇමැතිවරුන්ගේ සහාය නොලැබුණද රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරාජය කළ හැකි වාතාවරණයක් තිබෙන බවද මෙහිදී පක්‍ෂ නායකයන්ගේ මතය වී තිබේ.
විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉල්ලා අස්‌විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කළ බව ශ්‍රීලනිප උප සභාපති, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පෙරේදා(03) පැවැති කැබිනට් මණ්‌ඩල රැස්‌වීමේදී දන්වා තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති කැබිනට් මණ්‌ඩල රැස්‌වීමේදී නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රීලනිප මතය මෙසේ ප්‍රකාශයට පත් කර ඇත.
ශ්‍රීලනිප මතය සම්බන්ධව එම ඇමැතිවරයා කරුණු කියද්දී පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා එකදු වචනයක් හෝ ප්‍රකාශ නොකොට මුනිවත රකිමින් එම කරුණු සියල්ල සාවධානව අසා සිට ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් එහිදී එක්‌සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායකයන් ඊට එකඟතාවය පළ කර නොමැත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එම ධුරයේ කටයුතු කළ යුතු බවට එක්‌සත් ජාතික පක්‍ෂයේ සහ එක්‌සත් ජාතික පෙරමුණේ තීරණය බව එහිදී ප්‍රකාශ කර තිබේ.
හෙට කැබිනට් සංශෝධනයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර පවතින්නේ එකඟතායක් නොව ඇත්තේ බෙදීමක් පමණක් බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.
අද කැබිනට් ඇමතිවරුන් බහුතරයක් හෙට දිනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවට පත්වෙන බව ද මන්ත්‍රීවරයා අද දිනයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබේ.
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසට හා අගමැතිවරයා විවේචනය කරපු පුද්ගලයින්ට එරෙහිව කටයුතු කරන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
රට ඉදිරියට ගෙන යා නොහැකි අර්බුදයක්
මේ අතර බොරැල්ල වජිරාශ්‍රමයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද විවාදයට ගෙන එය ජයග්‍රහණය කළත්, පරාජය වුණත් රජයට රට ඉදිරියට ගෙන යා නොහැකි අර්බුදයක් පවතින බවයි.
“අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ඒකාබද්ධ විපක්ෂය ශ්‍රීලනිපය, ජවිපෙ එක මතයක සිට ඡන්දය දෙන්න සූදානම්. ඒ වගේම එජාප හා ටී.එන්.ඒ. සංවිධානවල සැලකිය යුතු පිරිසක් අද යෝජනාවට පක්ෂව ඡන්දය දෙන්න සූදානමින් ඉන්නවා. මේ පිරිස ඡන්දය දීමෙන් වළක්වා ගන්න එජාපය කළ හැකි සෑම දෙයක්ම කරමින් සිටිනවා“ යැයිද පීරිස් මහතා පැවසී ය.
“අද රටම අක්‍රිය වෙලා. පසුගිය පෙබරවාරි 10 වැනිදා සිට මේ දක්වා රජයේ කිසිම ආයතනයක කටයුතු සුපුරුදු පරිදි කරන්නේ නෑ. ආණ්ඩුවේ එක පාර්ශ්වයක කැබිනට් සංශෝධනයක් කළා. අනෙක් පාර්ශ්වයේ කැබිනට් සංශෝධනය අද හෙට සිද්ධ කරන බව කියනවා. මේ නිසා ඇමැතිවරුන්ටත් තමන්ගේ තනතුර ගැන විශ්වාසයක් නෑ. අමාත්‍යවරු අස්ථාවරව සැකෙන් ඉන්නකොට අමාත්‍යංශවල නිලධාරීන් වැඩ කරන්න බයයි. මේ නිසා දැන් රටම අස්ථාවර වෙලා. රටේ ජනතාව කබලෙන් ලිපට වැටිලා“ යැයිද පීරිස් මහතා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS