මීගමුව කලපුව සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වෙන් කර තිබූ රුපියල් මිලියන 12.5 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ධීවර නිය...
මීගමුව කලපුව සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වෙන් කර තිබූ රුපියල් මිලියන 12.5 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට අධි චෝදනා පත්‍ර බාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඉදිරියේ බාරදීම සිදු කෙරුණි.
චෝදනා පත්‍ර බාරදීමෙන් පසුව එක් එක් විත්තිකරු රුපියල් 25000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැඟින් වූ ශරීර ඇප දෙකක් මුදාහැරීමට නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගෙන වාර්තාවක් කැඳවන මෙන් ද නියම කළේය.
ඊට අමතරව විත්තිකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා දැනට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය බාරයේ පවතින ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර මහාධිකරණය වෙත යොමු කරන ලෙස ද එම අධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයාට නියම කළේය.
අනතුරුව නඩුව ජුනි මස 04 වනදා කැඳවීමට ද නියම කෙරුණි.
2014 වසරේ සැප්තැම්බර් මස විසි වනදා සිට 2015 වසරේ ජනවාරි මස 7 වනදා දක්වා කාලසීමාව තුළ මීගමුව කලපුව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වෙන් කර තිබූ රුපියල් මිලියන 12.5 ක මුදලක් එවකට පැවති ජනාධිපතිවරණය අවස්ථාවේ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා වැය කිරීම තුළින් රජය මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොදු දේපල පනත යටතේ විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබේ.
බරපතළ වංචා පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් සිදුකර ඇති නිර්දේශවලට අනුව නීතිපතිවරයා විසින් විත්තිකරුවනට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.
COMMENTS