ඩුබායි හි රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු විසින් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි සහ විස්කි බ...
ඩුබායි හි රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු විසින් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි සහ විස්කි බෝතල් තොගයක් සමග අද (28) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූ බව සහකාර රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය.
මොවුන් ගෙන් එක් අයෙකු 41 හැවිරිදි කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනෙක් පුද්ගලයා 20 හැවිරිදි මාකොළ ,සියඹලාපේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මොවුන් දෙදෙනා 3/28 දින අලුයම 5.00 ට පමණ ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් විසින් රැගෙන ආ විශාල ප්‍රමාණයේ කාඩ්බෝඩ් පෙට්ටි දෙකක සහ රෑපවාහිනියක් අඩංගුව තිබූ පෙට්ටියක , මෙම දුම්වැටි 49,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 249 ක් සහ විස්කි බෝතල් 07ක් අසුරා සගවා ගෙන තිබුණි.
මෙම දුම්වැටි අතර විදේශීය නිෂ්පාදිත ගෝල්ඩ් ලීෆ් , ඩන්හිල් සහ බිස්නස් රෝයල් යන වර්ග වලට අයත් ඒවා තිබුණි.
මේ සියල්ලේම මුළු වටිනාකම රුපියල් 25,11,000 ක් බව රේගුව ප්‍රකාශ කරයි.
මෙම අත් අඩංගුවට ගැනීම සහකාර රේගු අධිකාරී බෙනුෂි සංජීවනී මහත්මිය විසින් සිදු කර තිබේ .
මෙම පුද්ගලයින් දෙදෙනා අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ රේගුව විසින් ආරම්භ කර තිබේ .
(කටුනායක ටී.කේ.ජී.කපිල )
COMMENTS