මෙවර පළාත් පාලන මැතිවරණයේදී විවිධ තනතුරු හෙබවූ උගත් පිරිසක් ද මැතිවරණයට ඉදිරිපත් වී තිබේ. පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වූ මෛත්‍රී...
මෙවර පළාත් පාලන මැතිවරණයේදී විවිධ තනතුරු හෙබවූ උගත් පිරිසක් ද මැතිවරණයට ඉදිරිපත් වී තිබේ. පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රචාරක කටයුතු මෙහෙයවූ පසුව අමාත්‍ය පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙසත්, ස්වාධීන රූපවාහිණී මාධ්‍ය ජාලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙසත් රාජ්‍ය සේවයේ විවිධ තනතුරු රැසක කටයුතු කළ ධනුෂ්ක රාමනායක මහතා මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් මහරගම නගර සභාවට තරග කරයි.
ඔහු සමග ඒෂියන් මිරර් අප සිදුකල සාකච්ඡාවකි මේ.
රාජ්‍ය සේවයේ තනතුරු දරමින් සිටි ඔබ එම තනතුරුවලින් ඉවත්වී පළාත් පාලන මැතිවරණයට තරඟ කරන්න හිතුවේ ඇයි?
එකක් තමයි මම රාජ්‍ය සේවයේ හිටියා වගේම පහුගිය අවුරුදු 07ක කාලය තුළ දේශපාලන ක්‍රියාදාමයන් සිදු වීම් සම්බන්ධයෙන් යම්කිසි අවබෝධයක් තිබුණ රාජ්‍ය නිලධාරියෙක්. මම දැක්කා කොහොමද ඇමතිවරු, පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු මේගොල්ලෝ තමන්ගේ වැඩවලදී කටයුතු කරන්නේ කියලා. ඉතින් මට හිතුණා මිනිස්සුන්ට සේවය කරන්න, මිනිස්සුන්ගේ ප්‍රශ්න හඳුනා ගන්න, මූලික කටයුතු සංවර්ධන ක්‍රියාදාමයන් කරන්න හරි අවබෝධයක් ගන්න හොඳම තැන තමයි මේ පල්ලෙහා මට්ටම පළාත් පාලන ආයතන කියලා. මම ඒ වෙලාවේ තීන්දු කළා ඒකෙ ආරම්භයක් විදියට මං ඉදිරිපත් වෙලා විශේෂයෙන් මට ආරාධනා කලේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා. ඉතින් ඒ ආරාධනය මම භාර ගත්තා. ඒ ආරාධනය භාර අරගෙන මම මහරගම වත්තේගෙදරට. ඒක තෝර ගන්න විශේෂ හේතුවක් වුණේ ඒක මගේ මුල් ගම. මම ඉපදුණු, මම හැදුනු වැඩුණු ගම තමයි මහරගම වත්තේ ගෙදර. ඒ නිසා මම එතනින් දේශපාලනයට, මිනිස්සු අපේක්ෂා කරන මහජන සේවයට මම එන්න කල්පනා කළා.
කොළඹ නගරයට ආසන්නව පිහිටා ඇති මහරගම නාගරික බල ප්‍රදේශයේ ඔබ ඉදිරිපත් කරන්නේ මොනවගේ වැඩපිළිවෙලක්ද?
මහරගම දැනට නගර සභාව, තව නුදුරේදී අපි මහ නගර සභාවක් බවට අනිවාර්යයෙන් පත් කරනවා එක්සත් ජාතික පක්ෂ රජය යටතේ. මේකේ අපි ගත්තොත් හඳුනා ගැනීමක් විදියට මහරගම කියන්නේ මිනිස්සු දෙලක්ෂ හත් දාහක් ජිවත් වන ග්‍රාමසේවා කොට්ඨාස 41ක්. මේ තුළ ළමා අධ්‍යාපනය කරන ළමා පාසල් 124කින් සමන්විත කොට්ඨාශයක්. ඒ වගේම පන්සල් 63ක්, ඒ වගේම කිතුණු දේවස්ථාන සහ ක්‍රිස්තියානි දේවස්ථාන 03ක්, ඒ වගේම පල්ලි 2ක්, ඒ එක්කම කෝවිල් 6ක් තියෙන ප්‍රදේශයක්. මේකේ හොඳ ජන ඝනත්වයක් තියෙනවා, ආගමික සහජීවනයක් තියෙනවා, පමුණුව හා මහරගම පොදු වෙළෙඳ කලාපත් එක්ක ඉතාමත් සංවර්ධිත ආර්ථික රටාවක් තියෙනවා. මෙන්න මේ භුමිය තුළ ජිවත් වෙන මිනිසුන්ගේ අති බහුතරයක් උගත් මධ්‍යම ප්‍රාන්තික කියලා හඳුනන අද සුවිශේෂී ආදායම්, සුවිශේෂී උගත් බුද්ධිමත් සමාජයක් ගොඩනගන්න දායකත්වය දෙන රටේ ආර්ථිකය, රටේ සමාජීය ස්ථාවරත්වය ඉදිරියට ගෙන යන කොට්ඨාශයක්. ඉතින් ඒ කොට්ඨාශයට අවශ්‍ය දේවල් මොනවද? ඒ වගේම තාරුණ්‍යයට අවශ්‍ය දේවල් මොනවද? කාන්තාවකට, ගෘහණියකට අවශ්‍ය මොනවද? ආගමික, සංස්කෘතික, විනෝදාස්වාද ඒ කියන සංස්කෘතින් ඉදිරියට ගෙන යන්න අවශ්‍ය මොනාද? අපි ඒවා ගැන නිවැරදි අධ්‍යනයක් කරලා තියෙනවා. ඒ නිවැරදි අධ්‍යනය මත පිහිටවලා මාවත කියලා අපි වැඩපිළිවෙලක් කරලා තියෙනවා. මාවත කියන වැඩපිළිවෙලේ කොහොමද බොරලැස්ගමුව වැව හැදෙන්න, කොහොමද මහරගම ප්‍රවාහන තදබදයට විසදුම් දෙන්නේ, නව අංග සම්පුර්ණ බස් රථගාලක්, ඒ වගේම ගුවන් පාලම්, ඒ වගේම උමං මාර්ග,මේවත් එක්ක කොහොමද මේ දේ කරන්නේ? ඒ වගේමඑතනින් එහාට ගියාම ක්‍රීඩාවට, කෞශල්‍යයට,කුසලතාවයට ඉඩ දෙන ක්‍රීඩාගාරයක් කොහොමද අපි හදන්නේ?තරුණයා ප්‍රබෝධමත් කරන, ආගමික සහජීවනයක් ඇති කරන බුද්ධිමත්, ඒ වගේමසදාචාරවත් තරුණයෙකු බිහි කරන්න අවශ්‍ය වැඩපිළිවෙල මොකක්ද? කාන්තාවකගේ ගෘහ ආර්ථිකය සේම ස්වයං ආර්ථිකය වර්ධනය කරන්නේ කොහොමද? ඒත් එක්කම ඉතිහාසයේ ඉදන් මහරගමට උරුමකම් කියන කෘෂි ආර්ථිකය නගා සිටවන්නේ කොහොමද? මේ කියන කරුණු කාරණාවලට අපේ වැඩපිළිවෙලක් මේ තුළ යෝජනා කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයිමේවට කොහොමද අපි ප්‍රාග්ධන වියදම් අපි මේවට දරන්නේ? කොහොමද මේවට ආයෝජනය කරන්නේ? කොහොමද මේ සල්ලි එන්නේ? මොකද මහරගම නගර සභාව ගත්තම වරිපනම් ගෙවන ආයතන, නිවාස, පුද්ගලයින් 81,000යි. ඒකෙන් වක්‍ර හා ඍජු ආදායම් විදියට පහුගිය 2017 අවුරුද්දේ හම්බුවෙලා තියෙන්නේ මිලියන 549යි. මේ මිලියන 549න්ම මේක කරන්න පුළුවන්ද?එහෙමනම් අර කියපු දේවල් කරන්න කොහෙන්ද සල්ලි? අපි ඒකට මධ්‍යම රජයත් එක්ක මේ වන විටත් මධ්‍යම රජයේ ඇමතිවරුන් එක්ක සාකච්ජා කරලා ඔවුන්ගේ කැමැත්ත,එකඟතාවය, මොකද මහරගම කියන්නේ මහ නගර හා බස්නාහිර සංවර්ධන සැලැස්මේ ප්‍රමුඛ උප නගරයක්. කොළඹ 2025 වෙනකොට සංවර්ධනය වෙනවත් සමඟම ඊට සමගාමීව මහරගමත් සංවර්ධනය විය යුතුයි. එතකොට තමයි ලස්සන කොළඹ, සුන්දර වටපිටාව සහ අපි බලාපොරොත්තු වන නව උත්පාදන වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඒකට අවශ්‍ය විධිමත්, තිරසාර සංවර්ධන වැඩසටහනක් අපි ඉදිරිපත් කරලා තියෙනවා.
ඔබගේ වැඩපිළිවෙලට ජනතාවගෙන් මොනවගේ ප්‍රතිචාරයක්ද තියෙන්නනේ?
උදාහරණයක් ගත්තොත් එහෙම මගේ පවුල් පරම්පරාව මෑතකදී පටන් ගත්ත පවුල් පරම්පරාවක් නෙවෙයි. මීට අවුරුදු 40කට, 45කට, 50කට ආසන්න කාලයක් මහරගමත් එක්ක බද්ධ වෙච්ච මුල් ගම්කාරයෝ තමයි රාමනායකලා කියන්නේ. මගේ සීයා අල්විස් වෙද මහත්තයා කියලා තමයි ගමේ ප්‍රසිද්ධ. සීයා තමයි මේ සමාජ සේවය මීට ඉස්සෙල්ලා ගම ඇතුළේ කළේ. හැබැයි සීයාගෙන් දෙවෙනි පරම්පරාවක් අපේ පවුල් පරම්පරා වලින් ඊළඟට මතු වුණේ නැහැ. ඒ අවස්ථාව මට උදා වුණා. ඉතින් මගේ පවුලත් එක්ක පවුල් පරම්පරා 14ක් සම්බන්ධයි. ඒ 14ම නිජභුමිය ඇවිල්ලා මේ මහරගම වත්තේ ගෙදර. මම නොසිතූවිරූ ආකාරයෙන් නෑදෑයින්, හිතවතුන්, මිත්‍රයින්, මට උගන්වපු ගුරුවරු,මට අනුශාසනා දීපු හාමුදුරුවන් වහන්සේලා, අන්‍යාගමික පූජකතුමන්ලා, ආගම් ජාති, කුල භේද, ලොකු කුඩා භේද, මේ සියලුම දේවල්වලින් තොරවහැමෝම මාත් එක්ක එකතු වෙලා තියෙනවා. පක්ෂ පාට භේදයකින් තොරවත් ඔවුන් මට මේ අවස්ථාවේදී පෙනී සිටිනවා. මම ඒක ඉතාමත් සුවිශේෂී කොට සලකනවා මහරගම වගේ පැත්තක අර ග්‍රාමීය, ඉස්සර ඉදන් පැවත එන කැපුවත් කොළ, කැපුවත් නිල්, කැපුවත් රතු කියන එක නෙවෙයිවැඩපිළිවෙලකට එකතු වෙන, ඒ වගේම විශ්වාසයකට එකතු වෙන, දැඩි අධිෂ්ඨානයකට එකතු වෙන කණ්ඩායමක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මන් විශ්වාස කරනවා ඔවුන් ලබා දෙන සහය මත තමයි අද මම මේ කතා කරන්න, ජයග්‍රාහී මාවතකට ඇවිල්ලා තියෙන්නේ. මට විශ්වාසයි ඔවුන් සියලුමදෙනාව පෙබරවාරි 10 වෙනිදා වගේම ඉන් මතුවටත් මොවුන් මගේ ඒ ගමන ශක්තිමත් කරන්න පෙනී සිටින්න කැපවෙයි,උරදෙයි කියලා.
COMMENTS