අයුතු සහගත නීතිපති වාර්තාවක් ලබාදීමෙන් අල්ලස් පනත යටතේ වරදක් කළ බවට චෝදනා කරමින් හිටපු අගවිනිසුරු මොහාන් පිරීස් මහතාට සහ ශ්‍රේෂ්ඨාධිකරණ ...
අයුතු සහගත නීතිපති වාර්තාවක් ලබාදීමෙන් අල්ලස් පනත යටතේ වරදක් කළ බවට චෝදනා කරමින් හිටපු අගවිනිසුරු මොහාන් පිරීස් මහතාට සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එම්.එස්.ඩී. නවාස් මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම නඩු පැවරීමට එරෙහිව රිට් ආඥාවක් ඉල්ලමින් නීතිඥ සංගමයේ සභාපතිවරයා විසින් අද (20දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරයි.
අදහසක් ඉදිරිපත් කිරීම හේතුවෙන්ම මෙවැනි චෝදනාවකට ලක්වීමට සිදුවීම සම්පූර්ණ පද්ධතියටම බලපෑමට හැකියාව ඇති හෙයින් හිටපු අගවිනිසුරුවරයා සහ වර්තමාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් මැදිහත් වීමට නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා තීරණය කොට ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
වෘත්තීයමය කටයුත්තකට අදාළව අදහසක් හෝ උපදේශයක් ඉදිරිපත් කිරීම හේතුවෙන්ම මෙවැනි චෝදනා නැඟීම පූර්වාදර්ශයක් බවට පත්වුවහොත් එය නීතිඥ හා විනිසුරු ක්ෂේත්‍රයන්ට අහිතකර අන්දමින් බලපෑ හැකි බවට නීතිඥ සංගමයේ සාමාජිකයන්ගේ අදහස් අනුව නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා මෙම තීරණය ගෙන ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
හිටපු අගවිනිසුරු මොහාන් පිරීස් මහතා නීතිපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී ලෙකෝ සමාගමේ ඉඩම් හා දේපළ මිලදී ගැනීමේදී දූෂණ හා අක්‍රමිකතා සිද්ධීන්වලට සම්බන්ධිත පුද්ගලයන්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පැවරීම වැළැක්වීම සඳහා අයුතු සහගත අන්දමින් නීතිපති වාර්තාවක් ලබාදෙන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා එල්ල කොට ඇත.
COMMENTS