බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක ප්‍රධානී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා අද (22) දහවල් 12.35 ට පමණ ලන්ඩන් නුවර සිට...
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක ප්‍රධානී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා අද (22) දහවල් 12.35 ට පමණ ලන්ඩන් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ ඔස්සේ යළි ශ්‍රී ලංකාවට පැමිණියේය.
ගුවන්තොටුපොළ තුළ දී ඔහුට විශේෂ අමුත්තන් සදහා වූ පහසුකම ලබා දී තිබූ බව අප ගුවන්තොටුපොල වාර්තාකරු පැවසී ය.
රජයෙන් කළ කැඳවිමක් අනුව ඔහු නැවත මෙරටට පැමිණ තිබේ.
නිදහස් දිනය යෙදුණු ඉකුත් පෙබරවාරි හතර වැනිදා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මගින් පැවැත්වූ නිදහස් සමරු උත්සවයට විරෝධය දක්‌වමින් කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාව දියත් කළ උද්ඝෝෂණයේදී ඔවුන්ට කළ ඉඟි කිරීමක් හේතුවෙන් තමන්ට එරෙහිව මතුවූ ආන්දෝලනාත්මක තත්ත්වයකට මුහුණ දීමට ඔහුට සිදු විය.
එහිදී වහාම ඔහුගේ සේවය අවසන් කර යළි ශ්‍රී ලංකාවට කැඳවීමට විදේශ ඇමැතිවරයා කටයුතු කළද පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් බ්‍රිගේඩියර්වරයා යළි සේවයේ පිහිටුවීමට කටයුතු කෙරිණි.
කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාවට කළ ඉඟියෙන් බ්‍රිගේඩියර්වරයා මරණීය තර්ජන එල්ල කළ බව පවසමින් බ්‍රිතාන්‍යයේ ජෝන් රයන්, සිමෝන් මැක්‌ඩොනා සහ පෝල් ස්‌කලී යන කොටි හිතවාදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරියෝ දෙමළ ඩයස්‌පෝරාව සමඟ එක්‌ව චෝදනා එල්ල කර තිබිණි.
ඔවුන් එසේ සඳහන් කළද පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කළ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් අදාළ ඉඟි කිරීමෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හමුදා නිලධාරියකු ලෙස වරදක් සිදුකර නොමැති බව අවධාරණය කරනු ලැබීය.
මෙම සිද්ධිය ක්‍රමයෙන් යටපත් වෙමින් තිබියදී ඉකුත් සතියේ යළිත් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවූ කොටි හිතවාදීන් පසුව බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්‌ඩල කාර්යාලය වෙත පැමිණිල්ලක් කිරීමටද ක්‍රියා කර තිබිණි.
(කටුනායක ටී.කේ.ජී.කපිල )
COMMENTS