කොළොන්නාව, මීතොටමුල්ල ප‍්‍රදේශයේ කසළ කන්ද කඩා වැටීම නිසා සිදුවූ හානිය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති විමර්ශන කමිටුවේ අවසන් වාර්තාව අද (06) ජන...
කොළොන්නාව, මීතොටමුල්ල ප‍්‍රදේශයේ කසළ කන්ද කඩා වැටීම නිසා සිදුවූ හානිය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති විමර්ශන කමිටුවේ අවසන් වාර්තාව අද (06) ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත භාරදෙනු ලැබීය.
කමිටුවේ සභාපති විශ‍්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු ආචාර්ය චන්ද්‍රදාස නානායක්කාර මහතා විසින් වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදුන් අතර, කමිටු ලේකම් ඞී.එම්. කරුණාරත්න, නීති නිලධාරී පාලිත අබේවර්ධන යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මීතොටමුල්ල කසළ බැහැර කිරීම පිළිබඳ කෙටිකාලීන සහ දිගුකාලීන නිර්දේශ කමිටු වාර්තාව තුළ ඉදිරිපත් කර තිබෙන අතර බස්නාහිර පළාත තුළ කසළ බැහැර කිරීමේ කටයුතු කළමනාකරණය සඳහා මධ්‍ය ආයතනයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම ද පෙන්වා දී තිබේ.
එමෙන්ම කසළ දාහක ඉදිකිරීමේ වැදගත්කම පිළිබඳව ද කරුණු සඳහන් කර තිබෙන අතර මෙම කමිටු වාර්තාවට අනුව අදාළ නිර්දේශ සහ යෝජනා කි‍්‍රයාත්මක කිරීම සඳහා ඉදිරියේදී අදාළ අමාත්‍යාංශ හා ආයතන වෙත උපදෙස් ලබාදෙන බව ජනාධිපතිවරයා පැවසීය.
කොළොන්නාව, මීතොටමුල්ල කසළ බැහැරකිරීමේ කටයුතු සඳහා බාහිර ආයතන වෙත ගෙවා ඇති මුදල් 2015 සහ 2016 වසර තුළ අසාමාන්‍ය අයුරින් වර්ධනය වී ඇති බව කමිටු වාර්තාව පෙන්වා දෙයි.
කොළඹ මහ නගර සභාව විසින් 2014 වසරේ ඒ සඳහා සිදුකළ වියදම රුපියල් මිලියන 64 ක් වන අතර 2015 වර්ෂයේ රුපියල් මිලියන 182 ක් ලෙස ද, 2016 වර්ෂයේ රුපියල් මිලියන 232 ක් ලෙස ද එම ගෙවීම් වර්ධනය වී තිබෙන බව ද අනාවරණය කරයි.
එමෙන්ම ආරම්භයේ සිටම මෙම කසළ ඉවත් කිරීම පිළිබඳ කොළඹ මහ නගර සභාව විසින් විධිමත් වැඩපිළිවෙළක් අනුගමනය නොකිරීම සහ විසඳුම් ලෙස ඉදිරිපත්කරන ලද යෝජනා නිසි අයුරින් කි‍්‍රයාත්මක නොකිරීම ද මෙම ඛේදවාචකයට හේතු වූ බව වාර්තාව වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
COMMENTS