දකුණු ආසියාවෙන් අත් අඩංගුවට ගත් විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීමේ උත්සවය අද (15) උදෑසන කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි ඉන්සී ...
දකුණු ආසියාවෙන් අත් අඩංගුවට ගත් විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීමේ උත්සවය අද (15) උදෑසන කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි ඉන්සී ඉකෝසයිකල් ආයතන පරිශ්‍රයේ දී පැවැත්වුනි .
මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය ඉක්වදෝරයේ සිට බෙල්ජියම , ස්පාඤ්ඤය ඔස්සේ ඉන්දියාවට දෙසැම්බර් 09 වනදා රැගෙන යමින් තිබූ නැව , කොළඹ වරායට පැමිණ සිටියදී , එහි තිබූ ලී තොගයක් අතර සගවා තිබී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
රුපියල් කෝටි 1400 ක් පමණ වටිනා මෙම කොකේන් තොගය , කිලෝ ග්රෑම් 928 ග්රෑම් 229 කින් යුක්ත විය . ශ්‍රී ලංකාවේ දී අධිකරණ ක්‍රියාමාර්ග නිමවීමෙන් අනතුරුව කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි මෙම ඉන්සී ඉකෝසයිකල් ආයතනයේ දී විනාශ කිරීම සුදුසු බව දීර්ඝ අධ්‍යයනයකින් පසුව අනාවරණය කරගෙන තිබුණි .
ඒ අනුව අද (15) පෙරවරු 10.00 ට පමණ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර , ශ්‍රී ලංකා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අන්තරායකාරී ඖෂධ පාලක මණ්ඩලයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ , අමාත්‍ය සාගල රත්නායක , අමාත්‍ය රන්ජන් රාමනායක ,අමාත්‍ය පියසේන ගමගේ , පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ගේ නිරීක්ෂණය යටතේ සහ ශ්‍රී ලංකාවේ සියලුම මාධ්‍ය ඉදිරිපිට ප්‍රථම වතාවට මෙම කොකේන් තොගය විනාශ කිරීම ආරම්භ විය .
මුලින්ම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම කොකේන් තොගය පරීක්ෂා කර , කිරා මැන බලා , ඉන් අනතුරුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නියැදි පරීක්ෂාවකට ලක් කිරීමෙන් අනතුරුව , මෙම කොකේන් දියර බවට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ විය .
ඉන්පසු GPS තාක්ෂණය සහිත විශේෂ ප්‍රවාහන රථ යොදා ගෙන , මෙම දියර කොකේන් තොගය දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ පුත්තලම සිමෙන්ති කම්හල වෙත රැගෙන යන ලදී.
එහිදී සෙල්සියස් අංශක 2000 ක උෂ්ණත්වයෙන් යුතු ප්‍රධාන උදුන තුලට , මෙම දියර කොකේන් ඇතුළු කිරීමෙන් අනතුරුව , තත්පර 06 ක් වැනි කාලයක් තුළ මේවා දැවී විනාශ වීමට නියමිතය .
මෙම ඉන්සී ඉකෝසයිකල් ආයතනය පසුගිය 2017 වසර තුළ මේ ආකාරයට කොකේන් වලටත් වඩා භයානක රසායනික ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් හය ලක්ෂ දෙදහස් අටසිය අනූ අටක් (602,898) මෙම පුත්තලම කම්හල ඔස්සේ විනාශ කර ඇති බව ද මෙම සමාගමේ ප්‍රකාශකවරයෙකු පැවසීය .
(ටී.කේ.ජී.කපිල )
COMMENTS