ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල පවතින ප්‍රශ්න වලට විසදුම් සපයා දීමට ඉන්දීය රජය මගින් දක්වන සැලකිල්ල පිළිබදව සතුටට පත් විය නොහැකි බව...
ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල පවතින ප්‍රශ්න වලට විසදුම් සපයා දීමට ඉන්දීය රජය මගින් දක්වන සැලකිල්ල පිළිබදව සතුටට පත් විය නොහැකි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් තාරාන්ජිත් සිං සාන්ධු මහතාට පවසා තිබේ.
ප්‍රධාන අමාත්‍යවරයා හා ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර හමුවක් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී පැවති අවස්ථාවේ දී ඔහු මේ බව පවසා තිබේ.
උතුරු හා නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කිරීම උතුරු නැගෙනහිර අර්බුදය විසදීමට මුලින්ම ගතයුතු පියවර බව දෙමළ නායකයින් ඉන්දීය රජයට මතක් කොට සිටියේ ඒ සම්බන්ධයෙන් නඩු විභාගයක් අධිකරණයේ පැවැත්වෙමින් තිබූ කාල වකවානුවේදී බව ප්‍රධාන අමාත්‍යවරයා ඉන්දීය මහ කොමසාරිස්වරයාට පෙන්වා දී තිබේ.
උතුරු නැගෙනහිර පළාත් දෙක වෙන් කරන ලෙස අධිකරණ නියෝගයක් ලබා දීම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක් වුවත් ඉන්දීය රජයට ඊට මැදිහත් වීමට බොහෝ සෙයින් ඉඩකඩ තිබුණු නමුත් ඉන්දීය රජය එසේ නොකළේ මන්ද යන්න බලවත් ප්‍රශ්නයක් බව මෙහිදී විග්නේශ්වර ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත.
ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල පවතින භූගෝලීය හා දේශපාලන රටාවද සමාජ ආර්ථික ක්‍රමයද ඉන්දියාවට සමාන බවත්,ඉතිහාසයේදී ඉන්දියාව එම ගැටළු විසදා ගැනීමට අනුගමනය කල ක්‍රමවේදයන් ශ්‍රී ලංකාවටද අනුගමනය කල හැකි නමුත් ඒ වෙනුවෙන් ඉන්දීය රජය ශ්‍රී ලංකා රජයට කෙරෙන බලපෑම් ප්‍රමාණවත් නොවන බව ප්‍රධාන අමාත්‍යවරයා ඉන්දීය මහ කොමසාරිස්වරයාට පෙන්වා දී තිබේ.
උතුරේ සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය තවත් යෝජනා කීපයක් පිළිබදව වූ වාර්තාවක් ප්‍රධාන අමාත්‍යවරයා විසින් ඉන්දීය මහ කොමසාරිස්වරයාට බාරදී ඇති අතර එම සංවර්ධන යෝජනා ක්‍රම වෙනුවෙන් ඉන්දීය රජයේ සහය ලබා දෙන මෙන්ද ඉල්ලීමක් කොට තිබේ.
(දිනසේන රතුගමගේ)
COMMENTS