බරපතල දූෂණ වංචා විමර්ශන වාර්තාවෙන් හිටපු ජනාධිපතිවරයාගේ සිවිල් අයිතිය අහෝසි කළ යුතු බවට නිර්දේශ කර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවස...
බරපතල දූෂණ වංචා විමර්ශන වාර්තාවෙන් හිටපු ජනාධිපතිවරයාගේ සිවිල් අයිතිය අහෝසි කළ යුතු බවට නිර්දේශ කර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ මොරවක ඊයේ පැවති ජන රැළියකට එක්වෙමිනි.
එහිදී අගමැතිවරයා මෙසේද පැවසී ය.
“මේ වාර්තා දෙකෙන් එකක් තියෙන්නේ බැඳුම්කරය. මේ බැඳුම්කරය ගැන මම අලුතෙන් කියන්න යන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයටවත් අපිටවත් විරුද්ධව කිසිම කාරණයක් නැහැ. ඒක එක පාරක් නෙමෙයි දැන් තුන් හතර පාරක් පාර්ලිමේන්තුවේ වාද විවාද කරල තියෙන්නේ. අපිට හංගගන්න දෙයක් නැහැ. අපිට පාපිස්ස යට දාන්න දෙයක් නැහැ. කට කැපුවත් බලය සඳහා මම බොරු කියන්නේ නැහැ. එම වාර්තාවේ එක් යෝජනාවක සඳහන් වන්නේ හිටපු ජනාධිපතිවරයාගේ සිවිල් අයිතිවාසිකම් වසර 7 ක් නොව ජීවිතාන්තය දක්වා අහෝසි කළ යුතු බවයි. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් අය කියනවා ඒ අයට පොහොට්ටුව සමගත් වැඩකටයුතු කිරීමට වුවමනායි කියලා. ඉතින් එහෙමනම් ඒ අයට මේ ප්‍රශ්නයටත් විසඳුම් සොයාගැනීමට සිදුවෙයි කියලා මම කියනවා.’’
කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ වත්මන් ආණ්ඩුව යම් ලෙසකින් තම ප‍්‍රජා අයිතිය අහෝසි කළද, තමා ජනතාව වෙනුවෙන් නැගී සිටින බවත් දිගටම දේශපාලනය කරන බවයි.
තමන්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට බරපතල දුෂණ, වංචා සම්බන්දයෙන් විමර්ශණය කල ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවෙන් කර ඇතැයි කියන නිර්දේශය කුමන නිර්දේශයක්ද යන්න තමන් නොදන්නා බවත් එම වාර්තාවේ එවැනි නිර්දේශයක් ලබා දී ඇතැයි කියන පිටුව තමා තවම සොයන බවත්ය.
COMMENTS