කතරගම නගරයේ දී අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසිය කළ වෙඩි තැබීමෙන් එක් පුද්ගලයකු මිය යෑමෙන් පසු විරෝධතාවේ යෙදෙමින් කලහකාරි ලෙස හැසිරු...
කතරගම නගරයේ දී අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසිය කළ වෙඩි තැබීමෙන් එක් පුද්ගලයකු මිය යෑමෙන් පසු විරෝධතාවේ යෙදෙමින් කලහකාරි ලෙස හැසිරුණු පුද්ගලයන් 100ක් පමණ ඊයේ (21) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 15 දෙනකු සිටින බවයි.
මෙම නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් කතරගම පොලිසියට ද දැඩි අලාභහානි සිදුවී තිබේ. ඒ කලහකාරීන් විසින් ගල්මුල් හා පොලු වලින් පහරදීම හේතුවෙනි. මීට අමතරව කතරගම පොලිසියේ පරිපාලන ගොඩනැඟිල්ල, පොලිස් නේවාසිකාගාර ගොඩනැඟිල්ල, ස්‌ථානාධිපතිවරයාගේ නිල නිවස ඇතුළු නගරයේ දේපළ රැසකටම හානි සිදුවී තිබේ.
සිද්ධියත් සමඟ නගරයට එක් රොක් වූ පිරිස් කලහකාරි ලෙස හැසිරුණු අතර පොලිසිය අවස්‌ථා කීපයකදීම කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඔවුහු විසුරුවා හරිනු ලැබූහ. එහෙත් යළි ඊයේ සවස ද පිරිස කහලකාරි ලෙස හැසිරෙමින් ටයර් පුළුස්‌සා දමමින් පොලිසියට සිය විරෝධය පළකර තිබේ.
මේ අතර කලහකාරි ලෙස හැසිරුණු තවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුමක් අරඹා තිබිණි. අත්අඩංගුවට ගත් සියලු කලහකාරීන් තිස්‌සමහාරාම මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
පෙරේදා (20) රාත්‍රි කතරගම ප්‍රාදේශීය සභාවේ සේවකයකු යතුරුපැදියකින් ගමන් ගන්නා අවස්‌ථාවේදී රාත්‍රි මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරියකුගේ වෙඩි පහරකට ලක්‌ව මියගොස් ඇත.
මියගිය පුද්ගලයා රාත්‍රි 11 ට පමණ සිය මිතුරකු සමග යතුරුපැදියෙන් ගමන්ගන්නා විටදී කතරගම ප්‍රාදේශීය සභාව ආසන්නයේ මුර සංචාරයේ නිරතව සිටි පොලිස් කොස්‌තාපල්වරයා යතුරුපැදියට අතපා නතර කරන ලෙස අණකර තිබේ. යතුරුපැදිය ටික දුරක් ගොස් පොලිස් අණ පරිදි නතර කරනවාත් සමගම යතුරුපැදිය පදවාගෙන පැමිණි සිය මිතුරාට පොලිස් නිලධාරියා විසින් වෙඩි තැබූ බව යතුරුපැදියේ පසුපස ගමන් ගත් දැනට තුවාල ලබා කතරගම දිසා රෝහලේ ප්‍රතිකාර ලබන ආර්. නුවන් මහතා පවසයි.
මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ කතරගම නාගහවීදිය පදිංචිව සිටි පතිරණලාගේ නිරෝෂන් (25) නමැති එක්‌දරු පියෙකි. හෙතෙම හිසට වෙඩි වැදී බරපතළ තුවාල ලබා මියගොස් තිබේ.
මෙම වෙඩි තැබීමත් සමග කුපිත වූ කතරගම ජනතාව ඊයේ (21) අලුයම 1 ට පමණ කතරගම පොලිසියට පැමිණ පොලිසියේ වීදුරු ජනෙල්වලට පහරදී ජීප් රථයකටද අලාභ හානි කර ඇත. මෙම අවස්‌ථාවේදී පොලිසිය විසින් කඳුළු ගෑස් සහ අහසට වෙඩි තබමින් උද්ඝෝෂකයන් පලවා හැරීමට ක්‍රියා කර ඇත. පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා පොලිසියට ආරක්‍ෂාව ලබාදී ඇත.
එම වීඩියෝව පහතින් නරඹන්න
COMMENTS