ශ්‍රී ලාංකිකයන් සහ අලිඇතුන් අතර සම්බන්ධය ඈත අතීතය දක්වා දිව යන්නකි. සිදුහත් උපතේ පටන් මෑත අතීතය දක්වා මිහිමත විසූ සුවිශේෂී අලිඇතුන් පිළි...
ශ්‍රී ලාංකිකයන් සහ අලිඇතුන් අතර සම්බන්ධය ඈත අතීතය දක්වා දිව යන්නකි.
සිදුහත් උපතේ පටන් මෑත අතීතය දක්වා මිහිමත විසූ සුවිශේෂී අලිඇතුන් පිළිබඳ කතා එමටය.
සිය රැහේ අභිමානය වෙනුවෙන් වෙඩි කා මිය ගිය පනාමුරේ ඇත් රජු වෙනුවෙන් කවි කොල මෙන්ම ගීත පවා නිර්මාණය විය.
මේ අතර පසුගියදා ඝාතනයට ලක් වූ ගල්ගමුවේ දළ පූට්ටුවා වෙනුවෙන් ශෝකය පළ කරන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සිය සමාජ ජාල පිටු තුළ සටහන් තබා තිබෙන ආකාරය දැකගත හැක.
දළ පූට්ටුවාගේ වියෝව හමුවේ ඔහු සැරිසැරූ ගල්ගමුව අවට ජනතාව ද කම්පනයට පත්ව සිටින බව වාර්තාකරුවෝ පවසති.
ශ්‍රී ලංකාව තුළ අලි මිනිස් ගැටුමට මැදිව මිය යන අලි ඇතුන් පිළිබඳ නිතර වාර්තා වුවද ඒ කිසිදු අවස්ථාවකටත් වඩා දෑස් අඳ ගල්ගමුවේ දළ පූට්ටුවා වෙනුවෙන් බොහෝ දෙනා මෙතරම් ශෝකයට පත්වන්නේ ඇයි?
මිනිසුන්ට හානියක් නොකිරීම සහ සුවිශේෂී අංග ලක්ෂණ හේතුවෙන් දළ පූට්ටුවා සාමාන්‍ය ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ බව ඇතැම් පරිසරවේදීන්ගේ මතයයි.
"මේ සතාගේ දෑස් අන්ධ වෙන්නේ මිනිස් වෙඩි පහරින්. ශරීරය කිලෝ පන්දහකට වැඩිය බර සතෙක්. ඒ කිලෝ පන්දහ තුළ අඩු ගානේ යකඩ මූනිස්සම් කිලෝ විස්සක්වත් ඇඟ ඇතුළේ තියාගෙන තමයි එයා මේ රටටම, මිනිස්සුන්ට, ගමට මෛත්‍රී කරමින් ඇවිද්දේ," යනුවෙන් පරිසරවේදී නයනක රන්වැල්ල පැවසීය.
ආගමික වතාවත්
දළ පූට්ටුවා සහ ගල්ගමුව හා ඒ අවට ජනයා අතර පැවති සමීප සම්බන්ධය කෙතරම්ද යත් දළ පූට්ටුවාට ගොයම දී බලා සිටීමට පවා ඇතැම් ගොවීන් කාරුණික වී තිබේ.
කෙසේ නමුත් මරණයට පත් දළ පූට්ටුවා වෙනුවෙන් ඔහුගේ සිරුර සොයා ගනු ලැබූ කහල්ල පල්ලකැලේ රක්ෂිතයට අයත් සොරොව්වැව ප්‍රදේශයේදී ඒ අවට මාධ්‍යවේදීන් සහ ප්‍රදේශවාසීන් එක්ව බෞද්ධ ආගමික වතාවත් සිදු කර ඇත.
ගල්ගමුවේ දළ පූට්ටුවා මිය ගොස් ඇතැයි සැක කෙරුණේ වලාන දූෂණ මර්දන ඒකකය විසින් දළ යුගලක් සහ ගජමුතු සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීමත් සමගය.
එසේ නොවී නම් දළ පූට්ටුවා මිය ගොස් ඇතැයි වනජීවී බලධාරීන් අදටත් දැන නොසිටින බවට පරිසර සංවිධාන චෝදනා කරති.
වයස අවුරුදු 35 - 40 අතර වයසේ පසු වූ දළ පූට්ටුවා දඩයම්කරුවන්ගේ ගොදුරක් බවට පත් නොවුයේ නම් තවත් වසර 15 -20 අතර කාලයක් ජීවත් වනු ඇති බව අනුරාධපුර කලාපය භාර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ පැවසීය.
ජාතික ප්‍රතිපත්තියක්
කෙසේ නමුත් දිනෙන් දින විනාශයට යන ශ්‍රී ලංකාවේ අලි සම්පත ආරක්ෂා කර ගනු වස් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට මෙතෙක් බලයට පත්වූ කිසිඳු රජයක් සමත්ව නැත.
ශ්‍රී ලංකාව තුළ වෙසෙන අලි ඇතුන් පිළිබඳ මෑත කාලය තුළ නිසි සංගණනයක් ක්‍රියාත්මකවී නොමැති නමුත් අලි ඇතුන් පන්දහසකට අධික සංඛ්‍යාවක් මෙරට ජීවත්වන බව පරිසරවේදීන්ගේ මතය වී තිබේ.
ඒ අතර දළ ඇතුන් 70 - 100 අතර සංඛ්‍යාවක් සිටින බව විශ්වාස කෙරේ.
වළගම්බා, මහසෙන්, අනුරාධා, වලව රාජා, කල්තොට රාජා සහ තලාකොල වැව පූට්ටුවා වැනි මෑත කාලයේ සිරිලක සැරිසැරූ සුවිශේෂී දළ ඇතුන් මේ වනවිට අතුරුදහන්ව ඇති බව පරිසරවේදී නයනක රන්වැල්ල පවසයි.
දැනට හඳුනාගෙන ඇති සුවිශේෂී දළ ඇතුන් දස දෙනාගෙන් අට දෙනෙකුම වනෝද්‍යානවලින් පිටත මිනිස් වාසස්ථාන ආසන්නයේ දිවි ගෙවන බව ඔහු පෙන්වා දෙයි.
"ලේ තැවරුණු ඇත් දළ"
මේ අතර සංරක්ෂණ පර්යේෂණ ආයතනයේ සභාපති ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ උද්‍යානවලින් පිටත සැරිසරන අලිඇතුන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් බලධාරීන්ට මෙන්ම ජනතාවට ද වගකීමක් පැවරෙන බවය.
"මේ අවදානමට ලක් වෙන සත්තු බොහෝවිට මරන්නේ රක්ෂිතයෙන් පිටතට ආ විටයි. දළ දෙකක් ගන්න මේ වගේ අපූරු සතෙක් මරලා, කපලා, කොටස්වලට කඩනවා කියන්නේ අපි සමාජයක් වශයෙන් ගොඩක් පිරිහුණු තැනකටයි ඇවිත් තියෙන්නේ," යැයි ආචාර්ය ප්‍රනාන්දු පවසයි.
එමෙන්ම රජ සමයේ පටන් ඇතුන් වනයෙන් අල්ලාගෙන විත් හීලෑ කිරීම සහ අධිරාජ්‍යවාදීන් විසින් දළ ලබා ගැනීමේ අරමුණින් ඇතුන් මරා දැමීම ශ්‍රී ලංකාවේ ඇත් පරපුර සමස්ත අලි ගහනයෙන් 5% දක්වා අඩුවීමට හේතු වී ඇති බවත් ඔහු පෙන්වා දුණි.
ඇත් දළ සඳහා සමාජය විසින්ම වටිනාකමක් ලබා දී තිබෙන බව කී ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු "ඇත් දළ කියන්නේ අපි වැදගත් තැනක, ගෙදරක හෝ කොතැනකවත් තබා ගත යුතු නැති දෙයක් බව අප තේරුම් ගත යුතුයි. මොකද ඒවා ලේ තැවරුණු දේවල්," යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළේය.
පොලිස් පරීක්ෂණ
මේ අතර ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිකුරාදා (දෙසැ 01) තවත් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.
ඇත් දළ යුගලක් සහ ගජමුතු සමග පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ ගල්ගමුව හේරත්ගම ග්‍රාම නිලධාරීවරයාගේ ඥාතියෙකු ද ඒ අතර සිටින බව පොලිසිය සඳහන් කළේය.
ඔහු අත තිබී තවත් ගජමුතු සොයා ගත් බව ද පොලිසිය වැඩිදුරටත් කියා සිටියේය.
ගල්ගමුවේ දළ පූට්ටුවාගේ මරණය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරන මෙන් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කළ බව නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මේ අතර නිවේදනය කර තිබුණි.
ඇතාගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 07 කි.
නොවැම්බර් 29 වෙනිදා ගල්ගමුවේ දළ පූට්ටුවාගේ මළ සිරුර සොයා ගනු ලැබුවේ කහල්ල පල්ලකැලේ රක්ෂිතයට අයත් සොරොව්වැව ප්‍රදේශයේදීය.
ඒ වනජීවී, පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව දියත් කළ මෙහෙයුමකින් අනතුරුවය.
දළ පූට්ටුවා ඝාතනය කළ පුද්ගලයන්ට දිය හැකි උපරිම දඬුවම ලබා දෙන ලෙස ජනතාව ඉල්ලා සිටිති.
ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව අලියෙකු ඝාතනය කළ බවට වරදකරුවන පුද්ගලයෙකුට වසර පහකට නොවැඩි සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂ පහක් දක්වා වූ දඩයකට හෝ එම දඬුවම් දෙකටම යටත් කළ හැකිය.
(BBC)
COMMENTS