පුංචි ඡන්දය ලබන පෙබරවාරි මස 10 වැනිදා පැවැත්වෙන බව අගමැතිවරයා ප්‍රකාශ කිරීම, මැතිවරණ කොමිසමේ ස්‌වාධීනත්වයට ඇඟිලි ගැසීමක් බව පාර්ලිමේන්තු ...
පුංචි ඡන්දය ලබන පෙබරවාරි මස 10 වැනිදා පැවැත්වෙන බව අගමැතිවරයා ප්‍රකාශ කිරීම, මැතිවරණ කොමිසමේ ස්‌වාධීනත්වයට ඇඟිලි ගැසීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.
ගම්මන්පිල මහතා එම අදහස් ප්‍රකාශ කර සිටියේ ඊයේ (04 ) පිවිතුරු හෙළ උරුමය මූලස්‌ථානයේ දී පැවති මාධ්‍ය හමුවේදීය.
එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.
“අපි දැක්‌කා ඊයේ අගමැතිතුමා ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කරා පුංචි ඡන්දය පවත්වන්නේ පෙබරවාරි මාසයේ 10 වැනිදාය කියලා. අගමැතිතුමා එහෙම උපදෙසක් මැතිවරණ කොමිසමට දෙන්න ඇති. අගමැතිතුමා තව පොඩ්ඩක් ඉවසාගෙන හිටියා නම් මැතිවරණය පවත්වන දිනය මැතිවරණ කොමිසමෙන්ම ප්‍රකාශ කරන තුරු, මැතිවරණ කොමිසම ස්‌වාධීනයි කියලා රටේ ජනතාවට පෙන්නුම් කරගෙන රඟපාමින් ඉන්න තිබුණ. මැතිවරණ කොමිසමේ රාජකාරියත් අගමැතිවරයා පවරා ගැනීම හරහා මැතිවරණ කොමිසමට සෘජුවම ඇඟිලි ගැසීමක් අගමැතිතුමා කරලා තියෙනවා. රාජ්‍ය සේවය, අධිකරණය, මැතිවරණ ක්‍රියාවලිය, විගණන ක්‍රියාවලිය ස්‌වාධීන කරන්න ඕනේ කියලා, මේ ආණ්‌ඩුවමයි මහා හඬක් නගලා, 19 වැනි සංශෝධනය ගෙනාවේ යහපාලනයේ කූටප්‍රාප්තිය විදිහට.”
“ජනාධිපතිතුමන්, විනිසුරුවන් පත්කිරීමට ඇඟිලි ගහනවා නම් අධිකරණ සේවා කොමිසමේ ස්‌වාධීනත්වයට මොකද වෙන්නේ. අගමැතිතුමන් මැතිවරණවලට දින නියම කරනවා නම් කෝ මැතිවරණ කොමිසමේ ස්‌වාධීනත්වය. මැතිවරණ කොමිසම දීර්ඝ කාලයක් අපේ අවලාදවලට ලක් වෙමින් ඉඳලා පළාත් පාලන ආයතන 93 කට ඡන්දය පවත්වන්න තීරණය කරලා යන්තම් තමන්ගේ ස්‌වාධීනත්වය පෙන්නුවා විතරයි "පුදන කොටම කාපි යකා" කියලා අගමැතිතුමා මැතිවරණයට දින නියම කළා. මේ නිසා මැතිවරණ කොමිසමේ සැබෑ නිරුවත රටට ප්‍රදර්ශනය කිරීමක් විදිහටයි අපි දකින්නේ අගමැතිතුමා මැතිවරණයට දින නියම කිරීම.”යැයිද වැඩිදුරටත් පැවසීය.
COMMENTS