එක්සත් ජාතික පක්ෂයේ හිටපු නීති ලේකම් ජ්‍යෙෂ්ඨ නීතිඥ ස්වර්ණමාලි අනුරාධනායක මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්තාය. අනුරාධප...
එක්සත් ජාතික පක්ෂයේ හිටපු නීති ලේකම් ජ්‍යෙෂ්ඨ නීතිඥ ස්වර්ණමාලි අනුරාධනායක මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්තාය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධානීන්ගේ කෙනෙහිලිකම් හමුවේ පක්ෂය සම්බන්ධයෙන් කලකිරීමෙන් නීතිඥ ස්වර්ණමාලි අනුරාධනායක මහත්මිය මෙම තීරණය ගෙන තිබේ.
නීතිඥ ස්වර්ණමාලි අනුරාධනායක මහත්මිය උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක වර්තමාන හොරොව්පොතාන එජාප ආසන සංවිධායක ජ්‍යෙෂ්ඨ නීතිඥ කස්තුරි අනුරාධනායක මහතාගේ නැඟණිය වේ.
වසර විස්සකට ආසන්න කාලයක් නීතිඥ වෘත්තියේ නිරත වන ඒ මහත්මිය ප්‍රබල එක්සත් ජාතික පක්ෂ සාමාජිකාවකි. වසර 15කට වැඩි කාලයක් එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම්වරියක් වශයෙන් කටයුතු කර තිබෙන ඇය පක්ෂයේ දැඩි අර්බුද පැවැති සමයේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කටයුතු කළ අයෙකි.
ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහාය දෙන බව පවසමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා හමුවී පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිඥ ස්වර්ණමාලි අනුරාධනායක මහත්මිය මෙසේ පැවැසුවාය.
"ඔව්. එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වුණා. කනගාටුවක් වගේම සතුටකුත් තියෙනවා ගත්ත තීරණය ගැන. ඡන්දය ඉල්ලන්න ඉදිරිපත් වෙන්නෑ. එහෙත් සමානුපාතික ලැයිස්තුව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මා ගැන සලකා බලයි"
COMMENTS