ක්‍රිකට් ක්‍රීඩාවේ පෙරළියක් ඇති කරමින් වෙනස්ම නිතීන් වලට අනුකූලව සංවිධාණය කෙරෙන 'ලාස්‌ට් මෑන්' ක්‍රිකට් ලෝක ශූරතාව මේ දිනවල දක...
ක්‍රිකට් ක්‍රීඩාවේ පෙරළියක් ඇති කරමින් වෙනස්ම නිතීන් වලට අනුකූලව සංවිධාණය කෙරෙන 'ලාස්‌ට් මෑන්' ක්‍රිකට් ලෝක ශූරතාව මේ දිනවල දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හීදී පැවැත්වෙනවා. මේ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන වෙනෝරා ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ සහභාගි වූ තරග තුනම ජය ගනිමින් අපරාජිතව දෙවැනි වටයට සුදුසුකම් ලබා තිබේ. වෙනොරා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වන අජන්ත මෙන්ඩිස් විසිනුයි.
අදාළ ලෝක කුසලාන වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පැවැති 'ලාස්‌ට් මෑන්' ක්‍රිකට් ශූරතාවයේ ශූරතාව දිනූ කණ්‌ඩායම සහ තවත් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්‌ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබයි. සාමාන්‍ය ක්‍රිකට් නීති රීතිවලට වඩා වෙනස්‌කම් වලින් යුත් මෙම 'ලාස්‌ට් මෑන්' ක්‍රිකට් ආකෘතියට ලොව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් රාශියක්‌ම සහභාගි වේ. එවැනි පසුබිමක ශ්‍රී ලංකා පිල පළමු වටය අපරාජිතව නිමා කිරීමට සමත් වීම විශේෂත්වයකි.
තමන් සහභාගී වූ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින අපරාජිත ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 30ක් ලබා තිබේ. ශ්‍රී ලංකා පිල විසින් පළමු වටයේදී මස්‌ට් නෙවා කාකා පිල ලකුණු 65 කින්ද ටී.එෆ්.සී. පිල ලකුණු 66 කින් සහ මරීනා සී.සී. පිල ලකුණු 100 කින් පරාජය කිරීමට සමත්ව තිබේ. මෙහිදී වෙනොරා ශ්‍රී ලංකා නායක අජන්ත මෙන්ඩිස් විසින් එක් තරගයකදී පන්දු 24 කදී අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වීම විශේෂත්වයකි. නායක අජන්ත මෙන්ඩිස් සිය පන්දුවාර හතර අඩු ලකුණු සංඛ්‍යාවකට යවමින් ප්‍රතිවාදීන්ට පීඩනයක් ගෙන දීමට සමත්ව තිබෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ තරග තුනම ජයග්‍රහනය කිරීමට ඔහුගේ පන්දු යැවීම මහත් රුකුලක්ව තිබේ.
කණ්‌ඩායම් 48 ක් මෙම තරගාවලිය නියෝජනය කරන අතර අවසන මහා තරගය ලබන 16 වැනිදා පැවැත්වේ. අවසන් පිතිකරුවාටද පන්දුවට පහරදිය හැකි ලෙස මෙම ක්‍රිකට් තරග ආකෘතිය සකස් කර ඇති අතර පන්දුවාර විස්‌සේ තරග ලෙස තරගාවලිය ක්‍රියාත්මක වේ.
වෙනෝරා ශ්‍රී ලංකා ලාස්‌ට් මෑන් කණ්‌ඩායම
අජන්ත මෙන්ඩිස් (නායක), ලක්‌ෂිත මධුෂාන්, හෂාන් රන්දික, ජනිත් චතුරංග, ලක්‌ෂ එදිරිසිංහ, හිමාෂ ලියනගේ, නුවන්ත රත්නායක, ජනක සම්පත්, ප්‍රභාත් ජයවර්ධන
COMMENTS