ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මුහුණපෑමට සිදුවී ඇති ගැටලු පිළිබඳව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයට හා පොදුරාජ්‍ය ...
ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මුහුණපෑමට සිදුවී ඇති ගැටලු පිළිබඳව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයට හා පොදුරාජ්‍ය මණ්‌ඩලයීය පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කිරීමට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රී කණ්‌ඩායම් දෙකක් ස්‌විට්‌සර්ලන්තය හා බංග්ලාදේශය බලා පිටත්ව යැමට නියමිතය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායමක් මේ සතියේදී අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කිරීමට ස්‌විට්‌සර්ලන්තය බලා පිටත්ව යන බවත් ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් තවත් මන්ත්‍රී කණ්‌ඩායමක් පොදුරාජ්‍ය මණ්‌ඩලයේ පාර්ලිමේන්තු කණ්‌ඩායමට පැමිණිලි කිරීමට ලබන සතියේදී බංග්ලාදේශය බලා පිටත්ව යන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
බංග්ලාදේශයේදී ලබන සතියේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්‌ඩලයීය පාර්ලිමේන්තු සමුළුවට සහභාගි වන ඒකාබද්ධ විපක්‍ෂයේ එම මන්ත්‍රී කණ්‌ඩායම එහිදී ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායමට අත්විඳීමට සිදුව තිබෙන ඉරණම හා ඔවුන්ගේ ආරක්‍ෂාව පිළිබඳවත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් කටයුතු කිරීමේදී සිදුවන බාධාවන් පිළිබඳවත් එම සංගමයට පැමිණිලි කරන බව බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
ප්‍රජාතන්ත්‍ර විරෝධී, පැසිස්‌ට් ඒකාධිපති පොලිස් රාජ්‍ය සංකල්පය දිගින් දිගටම ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මෙහිදී එම අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගම් දෙක දැනුවත් කෙරෙන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
විවිධ චෝදනා ඉදිරිපත් කර ඇප නොමැතිව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් බන්ධනාගාරගත කිරීම ඇතුළු ඔවුන්ට මුහුණදීමට සිදුවන ගැටලු පිළිබඳව එම අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගම් දෙකට පැමිණිලි කෙරෙනු ඇතැයිද හෙතෙම කීවේය.
පුංචි බොරැල්ල ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්‌ථානයේ ඊයේ (31 දා) පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS