මීට වසර තුනකට පෙර තමන් පැවැති රජයෙන් ඉවත්ව එළියට පැමිණියේ රට ජාතිය වෙනුවෙන් ඉලක්කයක් සපුරා ගැනීමට බව මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය....
මීට වසර තුනකට පෙර තමන් පැවැති රජයෙන් ඉවත්ව එළියට පැමිණියේ රට ජාතිය වෙනුවෙන් ඉලක්කයක් සපුරා ගැනීමට බව මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
අද කුමන පාර්ශ්වයන්ගෙන් තමන්ට ඇඟිල්ල දිඟු වුවද ගෙවී ගිය වසර තුන තුළ රට පුරා යහපාලන සංකල්පය ක්‍රියාත්මක කර රට වෙනසකට ගෙන යාමට තමන්ට හැකියාව ලැබුණු බව ද ජනාධිපතිවරයා පැවසීය.
ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 100ක සූර්යබල ශක්තියක් එක් කිරීමේ සුර්යබල සංග්‍රාමය සනිටුහන් කිරීම සඳහා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී පැවැති උත්සවයට ඊයේ(21) එක් වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේය.
යහපාලන සංකල්පය ක්‍රියාත්මක කරමින් දුෂණය, වංචාව, හොරකම හා නාස්තිය සහිත දුෂිත දේශපාලනය රටින් තුරන් කිරීමට තමන්ට හැකියාව ලැබුණු බවත් ඒ හරහා රට තුළ යහපත් සාදාචාරසම්පන්න දේශපාලන සංස්කෘතියක් ගොඩ නැඟීමේ ප්‍රවේශය සටහන් කරන්නට හැකි වූ බවත් ජනාධිපතිවරයා කීවේය.
රට වෙනුවෙන් ඉලක්ක සපුරාලීමේ වගකීම ඉටු කරමින් විදුලි බල හා පුනර්ජනනීය අමාත්‍යංශය ද අද දැවැන්ත ඉලක්කයක් සපුරාලීමට කටයුතු කර තිබීම ප්‍රසංශනීය බවද හෙතෙම මෙහිදී අවධාරණය කළේය.
මීට වසර තුනකට පෙර රට මුහුණ දුන් ජාත්‍යන්තරය දිනා ගැනීමේ අභියෝගය ජය ගනිමින් අද වන විට ලෝකයේ සෑම රටක් ම සෑම ජාත්‍යන්තර සංවිධානයක්ම දිනා ගැනීමට යහපාලන රජයට හැකියාව ලැබුණු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
මේ වසර තුනක කාලය තුළ රටේ ඇති වූ වෙනස නොවන්නට අද රටට අත් වන ඉරණම බුද්ධිමත් සියලු දෙනාගේ අවධානයට ලක් විය යුතු බව ද වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS