පළාත් පාලන ආයතනවල ඡන්ද කොට්‌ඨාස සහ සභිකයන්ගේ සංචිතය වැඩි කිරීමට අදාළව පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා විසින් 2017 පෙබරවාරි 17 දා නි...
පළාත් පාලන ආයතනවල ඡන්ද කොට්‌ඨාස සහ සභිකයන්ගේ සංචිතය වැඩි කිරීමට අදාළව පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා විසින් 2017 පෙබරවාරි 17 දා නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම ලබන දෙසැම්බර් 04 දා දක්‌වා අත්හිටුවීමට අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු නියෝගයට අභියෝග කරමින් නීතිපතිවරයා ඊයේ (27 වැනිදා) අභියාචනාධිකරණයට මෝසමක් ගොනු කළේය.
අභියාචනාධිකරණය එම අතුරු නියෝගය නිකුත් කළේ පුද්ගලයන් 6 දෙනකු විසින් 'රිට්' පෙත්සම් ගොනු කරමින් කළ ඉල්ලීමකට අනුවය.
ඊට එරෙහිව කරුණු ඉදිරිපත් කිරීම සඳහා දෙසැම්බර් 4 දාට පෙර එනම් නොවැම්බර් 30 වැනිදාට එම පෙත්සම විවෘත අධිකරණය හමුවේ කැඳවන ලෙසද නීතිපති සිය මෝසමෙන් ඉල්ලා ඇත.
නීතිපති කියා සිටින්නේ අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය හේතුකොට ගෙන දැනට සැලසුම් කර ඇති පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි වන බවයි.
වසර 02 කට අධික කාලයක් පළාත් පාලන ඡන්ද විමසීම පවත්වා නැති බවත් අතුරු නියෝගය බලපැවැත්වීම හේතු කොටගෙන ඡන්ද විමසීම පැවැත්වීම තවත් කල් යනු ඇති බවත් එය ඡන්දදායකයන්ට සිය ඡන්දය පාවිච්චි කොට තමන් කැමති නියෝජිතයන් තම ප්‍රදේශ පාලනය කිරීමට පත්කර ගැනීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහිමි වීමක් බවත් නීතිපති සිය මෝසමේ සඳහන් කර ඇත.
පළාත් පාලන අමාත්‍යවරයා අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 2017 පෙබරවාරි 17 දායි. ඊට එරෙහිව පෙත්සම්කරුවන් උසාවියට පෙත්සමක් ගොනු කළේ මාස 09 කට පසුවයි. එතරම් කලක් ප්‍රමාද වී ගොනු කළ පෙත්සම සහ පෙත්සමෙන් කළ ඉල්ලීම් විභාගයක් පවත්වන්නේ නැතිවම අහක දැමිය යුතු යයි නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියත් අභියාචනාධිකරණය ඒ ගැන නොසලකා පෙත්සම විභාග කිරීමට ගත් තීරණය නීති විරෝධී යෑයි ද නීතිපතිවරයා කියා සිටී.
පෙත්සම ගොනු කිරීමට ප්‍රමාදවීමට හේතුව පෙත්සම්කරුවන් විසින් පෙත්සමේ සඳහන් කර නැත.
ඡන්ද කොට්‌ඨාසවල ප්‍රදේශ සීමාවන් තීරණය කිරීම ජනතාවගේ ඡන්ද අයිතියට එතරම් බලපෑමක් නොවන නිසා ඒ හේතුව මත ඡන්ද විමසීම පැවැත්වීම ප්‍රමාද නොකළ යුතුයි.
අභියාචනාධිකරණය පැනවූ වාරණය පළාත් පාලන ආයතන 203 ක මැතිවරණ පැවැත්වීමට බලපා ඇත. ඉන් පළාත් පාලන ආයතන 139 ක ඡන්දය පැවැත්විය හැකි නමුත් 93 ක පමණක් මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්‌වරයා දැන් පියවර ගෙන ඇත. තවත් පළාත් පාලන ආයතන 46 ක ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනයේ දොaෂයක් නිසා නොහැකි වී ඇති බව මැතිවරණ කොමිසම පවසයි.
නීතිපතිවරයා වැඩි දුරටත් කියා සිටින්නේ සියලුම පළාත් පාලන ආයතනවල මැතිවරණය එක විට පැවැත්විය යුතු බවයි. විටින් විට මැතිවරණ පැවැත්වීමෙන් රජයට විශාල වියදමක් දරන්නට සිදුවන බවද ඔහු මෝසමේ සඳහන් කර ඇත.
අභියාචනාධිකරණය අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවනු ලැබුවේ ලබන දෙසැම්බර් 04 දා වන තෙක් පමණි. එහෙත් එම අතුරු නියෝගය බලවත්වන කාලසීමාව තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න ගැන එදාට තීරණය කරන බවද අභියාචනාධිකරණය දුන් තීන්දුවේ සඳහන් කර ඇත.
අතුරු නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම ප්‍රතික්‍ෂේප කරන ලෙස නීතිපතිවරයා මෝසමෙන් ඉල්ලා සිටී.
පෙත්සම්කරුවන් එකී ගැසට් නිවේදනයට එරෙහිව අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සම හා එම පෙත්සමෙන් කර ඇති ඉල්ලීම් ද සම්පූර්ණයෙන් ප්‍රතික්‍ෂේප කරන ලෙස ද නීතිපතිවරයා තවදුරටත් ඉල්ලා සිටී.
COMMENTS