NBN යන කෙටි නමින් හඳුන්වන ජාතික බ්‍රෝඩ්බෑන්ඩ් ජාලය පවසන්නේ සිය සමාගමට අයත් ඩොලර් බිලියනයක් වටිනා බ්‍රෝඩ්බෑන්ඩ් වයර් ප්‍රමාණයක් කොකටුවන් ව...
NBN යන කෙටි නමින් හඳුන්වන ජාතික බ්‍රෝඩ්බෑන්ඩ් ජාලය පවසන්නේ සිය සමාගමට අයත් ඩොලර් බිලියනයක් වටිනා බ්‍රෝඩ්බෑන්ඩ් වයර් ප්‍රමාණයක් කොකටුවන් විසින් මේ වන විට කා දමා තිබෙන බව ය. වයර් කපා දැමීම මෙන්ම එහි රැහැන් පිටතට ඇද දැමීම ද කොකටුවන්ගේ ජනප්‍රියතම විනෝදාංශයක් වී ඇති බව පෙනේ.
මෙම අන්තර්ජාල සමාගමේ සමස්ත රැහැන් පද්ධතියේ වටිනාකම ද ඩොලර් බිලියන 3 කි. මේ අනුව ඔවුන්ගේ සම්පත්වලින් තුනෙන් එකක්ම කොකටුවන් විසින් මේ වන විට විනාශ කර දමා ඇති බව පෙනී යයි.
මෙසේ කොකටුවන් විසින් අන්තර්ජාල වයර් කපාදමා ඇති බව පෙනී යන සෑම අවස්ථාවකදීම ඒවා යථා තත්වයට පත්කිරීමට ඔවුන්ට විශාල පිරිවැයක් දැරීමට සිදු වේ. මේ වන විටත් සමාගම විසින් ඔස්ටේ්‍රලියානු ඩොලර් 80000 කට අධික මුදලක් මේ සඳහා වැය කර ඇත.
මේ වන විට ඔස්ට්‍රේලියාවේ පක්ෂි චර්යා විශේෂඥයන්ගේ ද අවධානය මෙම අලුත් කොකටු හැසිරීම වෙත යොමු වී ඇති අතර, ඔවුහු කොකටුවන්ගේ මෙම චර්යාවන්ට හේතු සොයන්නට වෙහෙසෙති. මෙහිදී යෝජනා වී තිබෙන්නේ කොකටුවන් මෙම වයර්වල පැහැයට ආකර්ෂණය වනවා විය හැකි බවයි. තවද කොකටුවන් යනු නිතරම තම හොටය මුවහත් කර ගන්නා පක්ෂී වර්ගයක් වන නිසා, එහිදී රැහැන් විනාශ කිරීම දක්වාම ඔවුන් එහි නියැළෙනවා වන්නට ඇති බවයි.
කොකටුවන් රංචු පිටින් පැමිණ අන්තර්ජාල රැැහැන් ආක්‍රමණය කරන බව ද මේ අතර නිරීක්ෂණය වී තිබේ.
ඔස්ට්‍රේලියාවේ අන්තර්ජාල වේගය දැනටමත් පවතින්නේ සංවර්ධිත රටවල අන්තර්ජාල වේගයට වඩා අඩු මට්ටමකිනි. එනම් දැනට එහි සමස්ත වේගය තත්පරයට මෙගාබයිට්ස් 11.1 ක් වේ. මේ අතර මෙම සන්නිවේදන සැපයුම් ජාලයේ අන්තර්ජාල වේගය අඩු වී ඇති බවට පසුගිය කාලවලදී චෝදනා රැසක් ද එල්ල වී තිබූ අතර කොකටු ප්‍රහාරය හේතුවෙන් සිය සේවාවන් පවත්වාගෙන යා නොහැකි තරමට මෙම තත්වය උද්ගත වනු ඇතැයි ඔවුහු සිය කණස්සල්ල පළ කරති.
- අමාලි ජයවීර
COMMENTS