ගරු මන්ත්‍රීවරුනි, මේ අවස්ථාව අපගේ පාර්ලිමේන්තුවට ඓතිහාසිකව වැදගත් අවස්ථාවක්. 1993 පෙබරවාරි මස 06 වැනි දින දක්වා සංශෝධිත 1979 මැයි මස 01...
ගරු මන්ත්‍රීවරුනි, මේ අවස්ථාව අපගේ පාර්ලිමේන්තුවට ඓතිහාසිකව වැදගත් අවස්ථාවක්. 1993 පෙබරවාරි මස 06 වැනි දින දක්වා සංශෝධිත 1979 මැයි මස 01 වැනි දින සිට දශක හතරකට ආසන්න කාලයක් පුරාවට පාර්ලිමේන්තුවේ දැනට ක්‍රියාත්මකව පවතින ස්ථාවර නියෝග කාලීන වත්මන් ව්‍යවස්ථාදායක අවශ්‍යතාවයන්ට අනුකූලව යාවත්කාලීන කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වී තිබූ බව අප කවුරුත් හොඳින් දන්නා කාරණයකි.
එලෙසම, වර්තමාන පාර්ලිමේන්තුවේ රැස්වීම් පවත්වන කාල වේලාවන්, ආංශික අධීක්ෂණ කාරක සභා, විද්‍යුත් ඡන්ද ක්‍රමය යනාදී වශයෙන් සිදු වී තිබෙන සහ සිදු කිරීමට නියමිත නව ප්‍රවණතාවයන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අන්තර්ගත විය යුතු බව සභාවේ කටයුතු මනා ලෙස පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය සාධකයක් බව අපි කවුරුත් අවිවාදයෙන් යුතුව පිළිගනිමු.
කරුණු මෙසේ හෙයින්, ලෝකයේ දියුණු රටවල දැනට පවතින තත්ත්වයන් පිළිබඳවද විවිධාකාර දේශීය, විදේශීය විද්වතුන්, ක්ෂේත්‍රයේ විශේෂඥයන් විසින් ඉදිරිපත් කරන ලද අදහස් හා යෝජනාද, පසුගිය හත්වැනි පාර්ලිමේන්තුවේදී පවා ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව විසින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඉදිරිපත් කර තිබූ අදහස්ද, මැනවින් අධ්‍යයනය කර නියෝජ්‍ය කථානායක ගරු තිංලග සුමතිපාල, නියෝජ්‍ය කාරක සභාපති ගරු සෙල්වම් අඩෛක්කලනාදන්, අමාත්‍ය ගරු චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍ය ගරු අජිත් පී. පෙරේරා, ගරු විජිත හේරත්, ගරු ආනන්ද කුමාරසිරි, ගරු එම්.ඒ. සුමන්තිරන් සහ ගරු (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න යන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත මාගේ සභාපතිත්වයෙන් යුත් ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව විසින් 2015 දෙසැම්බර් මස 16 වැනි දින සිට 2017 ඔක්තෝබර් මස 31 වැනි දින දක්වා පුරා වසර දෙකකට ආසන්න කාල සීමාවක් තුළ රැස්වීම් වාර දොළහකදී ගැඹුරින් සලකා බලා, ඉන් අනතුරුව අමාත්‍ය ගරු රවුෆ් හකීම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ, වර්තමාන පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක ගරු රාජවරෝදියම් සම්පන්දන්, හත්වැනි පාර්ලිමේන්තුවේ හිටපු මාගේ පූර්වගාමී කථානායක ගරු චමල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුව විසින්ද සලකා බලා ඉදිරිපත් කරන ලද නිර්දේශද, තවත් අවස්ථා හයකදී සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනය කර පැය ගණනාවක් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉදිරිපත් වූ සියලු අදහස් සහ සංශෝධන සැලකිල්ලට භාජන කරමින්ද, ඉතාමත් කැපවීමෙන් හා ඕනෑකමින් සකස් කරනු ලැබූ යෝජිත පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සම්බන්ධයෙන් ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ වාර්තාව අද දින මෙම ගරු සභාවට මේ ආකාරයෙන් පිළිගැන්වීමට ලැබීම අටවැනි පාර්ලිමේන්තුවේ අප ලද සුවිශේෂී ජයග්‍රහණයක් බව සඳහන් කළ හැකි ය. අන්තර් පාර්ලිමේන්තු සංගමය විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආසියාවේ නව ආදර්ශවත් පාර්ලිමේන්තුව ලෙස පිළිගෙන තිබෙන මෙවන් මොහොතක, සභාවේ කටයුතු අභිමානවත් ලෙස, නීතිගරුකව, අදට ගැළපෙන අයුරින් පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය මෙම යෝජිත ස්ථාවර නියෝග හැකි ඉක්මනින් මෙම ගරු සභාව විසින් අනුමත කරනු ලැබිය යුතු බව සියලුම ගරු මන්ත්‍රීවරුන්ට මතක් කරමින් පසුගිය දිනක පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කරන ලද පරිදි 2018 වර්ෂයේ ජනවාරි මාසයේ මුලදී මෙය ප්‍රධාන මෙන්ම අත්‍යවශ්‍ය කටයුත්තක් ලෙස සලකා පාර්ලිමේන්තුව විසින් යථා පරිදි සම්මත කිරීමට යෝජනා කරන අතරම මේ වෙහෙසකර කාර්යය වෙනුවෙන් දායකත්වය ලබාදුන් සෑම සියලු දෙනාටම මාගේ හෘදයාංගම කෘතඥතාවය පළකිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි. ස්තූතියි.
COMMENTS