හත ශ්‍රේණිය භූගෝල විද්‍යාව පෙළ පොත් සින්තටික් කඩදාසියේ මුද්‍රණය කිරීම නිසා රජයට රුපියල් මිලියන 155ක පාඩුවක් සිදුවී ඇති බවත් සිසුන්ට අක්ෂි ...
හත ශ්‍රේණිය භූගෝල විද්‍යාව පෙළ පොත් සින්තටික් කඩදාසියේ මුද්‍රණය කිරීම නිසා රජයට රුපියල් මිලියන 155ක පාඩුවක් සිදුවී ඇති බවත් සිසුන්ට අක්ෂි රෝග, චර්ම රෝග මෙන්ම ශ්වසන ආබාධ ඇතිවීමේ අවදානමක් ඇති බවත් ලංකා ගුරු සංගමය පවසයි.
අධ්‍යාපන අමාත්‍යංශය මෙම පෙළපොත සින්තටික් කඩදාසියේ මුද්‍රණය කිරීමට පියවර ගෙන ඇත්තේ නිසි තාක්ෂණික අධ්‍යයනයකින් තොරව බව ද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
ස්ටාලින් මහතා මේ බව ප‍්‍රකාශ කළේ ගුරුමැදුර ශාලාවේ පෙරේදා (22) පැවති මාධ්‍ය හමුවකදීය.
මෙම පෙළපොත් භාවිතා කිරීමෙන් සිසුන්ට අක්ෂි රෝග, චර්ම රෝග මෙන්ම ශ්වසන ආබාධ ඇතිවීමේ අවදානමක් ඇතැයි කාර්මික තාක්ෂණ ආයතනය වාර්තා කර තිබෙන බව ද එබැවින් මේ වන විට එම පෙළපොත් භාවිතයෙන් ඉවත් කර තිබෙන බව ද ජෝසප් ස්ටාලින් මහතා ප‍්‍රකාශ කරයි.
“හත ශ්‍රේණිය භූගෝල විද්‍යාව පෙළ පොත සින්තටික් කඩදාසියේ මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැතිවරයා 2016 ජුනි 20 වැනි දා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට පෙර සවිස්තරාත්මක ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් ලබා ගන්නා ලෙස මුදල් අමාත්‍යවරයාගේ නිරීක්ෂණවල දක්වා තිබෙනවා. නමුත් එලෙස සවිස්තරාත්මක ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර නැහැ. ඒ අනුව ජනාධිපතිවරයාගේ නියමය පරිදි මේ සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන ඒකකයෙන් විමර්ශනයක් සිදු කර තිබෙනවා. එම විමර්ශනයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉහළ නිලධාරීන් තිදෙනකු වැරදිකරුවන් කර ඇතත් තවමත් නිර්දේශ ක‍්‍රියාත්මක වෙලා නැහැ.”
“මෙම ප‍්‍රසම්පාදන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළේ අමාත්‍යංශ අතිරේක ලේකම්වරයකුයි. ඔහු අධ්‍යාපන ප‍්‍රකාශන කොසමාරිස් ජනරාල් ලෙස පත් කළ පසුත් ප‍්‍රසම්පාදන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කර තිබෙනවා. එය සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි. විදේශ නිෂ්පාදකයාගේ එස් ජී එස් සහතිකය ටෙන්ඩර් ලියැවිලි සමඟ ඉදිරිපත් කර තිබෙනවා. මෙම කඩදාසි භාවිතයෙන් ඇසේ ආබාධ, සමේ සහ උගුරේ ආබාධ ඇති විය හැකි බව එහි සඳහන් කර තිබුණත් ඒ ගැන නිලධාරීන් සැලකිලිමත් වෙලා නැහැ. මෙම කටයුතු නිසා සිදුවී ඇති පාඩුව ඊට වගකිවයුත්තන්ගෙන් අය කර ගත යුතුයි.” යැයි ද ස්ටාලින් මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
COMMENTS