කැටලෝනියාව ස්වෛරීභාවය ප්‍රකාශයට පත් කළ නමුත් ස්පාඤ්ඤ රජය එය අහෝසි කර ස්පාඤ්ඤ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වන වගන්තිය යටතේ කැටලෝනියානු පා...
කැටලෝනියාව ස්වෛරීභාවය ප්‍රකාශයට පත් කළ නමුත් ස්පාඤ්ඤ රජය එය අහෝසි කර ස්පාඤ්ඤ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වන වගන්තිය යටතේ කැටලෝනියානු පාර්ලිමේන්තුව ද විසුරුවා හැරියේය. ලංකාවේ විමල් වීරවංශලා ඇතුළු ගුණදාස අමරසේකර, වසන්ත බණ්ඩාර, බෙංගමුවේ නාලක වැන්නන් නොදන්නේ ස්පාඤ්ඤයට එසේ කැටලෝනියාවේ වෙන් වීම අහෝසි කරගැනීමට ද අවස්ථාව සැලසුණේ ව්‍යවස්ථාවෙන් ම බලය බෙදීමක් කර තිබුණු නිසා බවය. 155 වන වගන්තිය ස්පාඤ්ඤ ව්‍යවස්ථාවට එකතු වන්නේ බලය බෙදීම නිසාය. එසේ බලය බෙදීමක් කර නොතිබුණු කොසෝවෝ, නැගෙනහිර ටිමෝරය වැනි රාජ්‍ය බෙදී වෙන්වී ගියේ ඒවා නැවැත්වීමට ව්‍යවස්ථාමය ප්‍රතිපාදන නොවූ නිසාය.
කැටලෝනියාවේ මේ මොහොතේ සිදුවන ක්‍රියාවලිය දෙස බලාගෙන ශ්‍රී ලංකාවේ බලය බෙදීම පිළිබඳව බිල්ලන් මැවීමට බොහෝ පාර්ශ්ව සැදී පැහැදී සිටිති. කැටලෝනියාව තරම් දුර දිග යාමට දෙයක් නැත. ඊ.පී.ආර්. එල්. එෆ්. සංවිධානයේ වර්ධරාජා පෙරුමාල් ස්වාධීනත්වය ප්‍රකාශයට පත් කළේ 1987දීය. එහෙත් ශ්‍රී ලංකාව දෙකඩ නොවුණු බව මෙතෙක් ශ්‍රී ලංකාවේ සිටි මිනිසුන් දනී. සැබැවින්ම බලය බෙදීමෙන් සිදුකෙරෙන්නේ බෙදී වෙන්වීයාමට ඇති ඉඩ අවම කිරීම මිස බෙදී වෙන්වීයාමට ඉඩ සැලසීම නොවේ. බෙදී වෙන්වීයාමේ ඉඩ වැඩිවන්නේ බලය නොබෙදූ රාජ්‍යයන්හිය.
ෆෙඩරල් යන වචනය සම්බන්ධයෙන් ද හුඹස් බිය ඇවිළවීමේ වැඩසටහන් මේ මොහොතේ රට පුරා ක්‍රියාත්මකය. 1987 පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වූ මොහොතේ පටන් මේ රට පවතින්නේ ද ෆෙඩරල් ආකෘතියකය. ෆෙඩරල්වලට බිය වන්නන් හොඳින් දෑස් හැර බැලිය යුත්තේ ළඟම රට වන ඉන්දියාව දෙසය. ෆෙඩරල් නිසා බෙදී යනවා නම් ඉන්දියාව මේ වන විට කීවතාවක් බෙදී තිබිය යුතුද ?
ෆෙඩරල් ක්‍රමයේ බලය බෙදීමක් පිළිබඳව හොඳම උදාහරණයක් ෆෙඩරල් වලට එරෙහිව බන දෙසන ශ්‍රී ලංකාවේ සංඝ සමාජයෙන් ම ලබා ගත හැක. ශ්‍රී ලංකාවේ සංඝ සමාජයේ බලය බෙදාහැර ඇත්තේ ද ෆෙඩරල් ආකාරයටය. එහිදී රහත් භාවය ප්‍රකාශයට පත් කළ සිරි සමන්තභද්‍ර භික්ෂුවට ද අවසානයේ මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් ළඟ වැඳ වැටී සමාව ගන්නට සිදුවිය. ෆෙඩරල් යන වචනයේ 'ෆ' යන්නට බොහෝ අය බිය වුව ද එය එතරම් දරුණු ක්‍රමයක් නොවන බව කරුණු සොයා බැලූ විට පෙනේ.
COMMENTS