නව ව්‍යවස්ථාවක් සම්පාදනය වැළැක්වීමට ප්‍රධාන හේතුවක් වූයේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන්ගේ ක්‍රියාකාරිත්වයයි. නව ව්‍යවස්ථාවක් සම්බන්ධව කතිකාවක...
නව ව්‍යවස්ථාවක් සම්පාදනය වැළැක්වීමට ප්‍රධාන හේතුවක් වූයේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන්ගේ ක්‍රියාකාරිත්වයයි. නව ව්‍යවස්ථාවක් සම්බන්ධව කතිකාවක් ආරම්භ වූ සෑම අවස්ථාවකදීම පාහේ ඔවුන් සිදු කළේ රටේ ඒකීයභාවය සහ බුදුදහමට හිමි ප්‍රමුඛත්වය විනාශ කිරීමට ව්‍යවස්ථාවක් ගෙන එනවා යැයි මිථ්‍යාවක් සමාජගත කිරීමය. මේ හේතුවෙන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා අවශ්‍ය වන සමාජ තෙරපුම නොලැබී ගියේය. ව්‍යවස්ථා වෙනසක් වැනි සමාජ සංවේදී කාරණයකදී සමාජයේ විවිධ කොටස්වල සහාය හිමි වීම අත්‍යවශ්‍යය. සියල්ල දේශපානිකකරණය වූ සමාජයක මහජන සහය සහ සමාජ තෙරපුම රහිතව නව ව්‍යවස්ථාවක් රැගෙන ඒම ඵල රහිත ක්‍රියාවකි.
එවන් අඳුරු ඉතිහාසයක 2015 ජනවාරි 8 සිදු වූ නිහඬ විප්ලවය ඉතා වැදගත් අවස්ථාවක් විය. එහිදී පොදු නිශ්චිත වැඩපිළිවෙළක් වෙනුවෙන් මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක පෙළගැසුණහ. එම වැඩපිළිවෙළට පොදු මහජන අනුමැතිය දෙවතාවකදීම ලැබිණි. ප්‍රථමයෙන් පැවති ජනාධිපතිවරණයේදී මුදල් බලය, මාධ්‍ය බලය, රාජ්‍ය බලය යන ප්‍රධාන බල ත්‍රිත්වය නොමැතිව වුවද, ප්‍රගතිශීලී ජනතාව එක් වි පොදු වැඩපිළිවෙළක් දිනවන්නට එක් වූහ. එම වැඩපිළිවෙළ තුළ පැවති ප්‍රමුඛ කාර්යයක් වූයේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමයි. එය ඉතා සුබවාදී බලාපොරොත්තුවක් විය.
නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේදී වර්තමාන රජය ගත් ප්‍රවේශය ඉතා වැදගත්ය. මීට පෙර ව්‍යවස්ථා සම්පාදනයේදී ඍජු මහජන සහාභාගීත්වයක් දක්නට නොලැබිණි. ව්‍යවස්ථාව සම්බන්ධ කතිකාවත් තුළ හැමවිටම පාහේ මහජනතාවට හිමි වූයේ දුරස් තැනකි. එවන් පසුබිමක ශ්‍රී ලංකාව පුරා යමින්, කමිටුවක් හරහා ඍජු මහජන අදහස් ලබාගැනීමට වර්තමාන රජය කටයුතු කළේය. එය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයටත් වඩා දියුණු ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් විය. මහජන අදහස් ලබාගැනීම තවදුරටත් අවසන් වී නැත. මෙය පෙර නොවූ විරූ සුබවාදී ප්‍රවේශයකි. තවද මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමටද රජය සූදානමින් සිටියි.
නව ව්‍යවස්ථාවෙන් රටේ ඒකීයභාවයට හානි වනවායැයි පවසන, බුදුදහම විනාශ කරනවායැයි බොරු හුඹස් බියක් සමාජගත කරන පිරිස්වලට කියන්න ඇත්තේ තවම නව ව්‍යවස්ථාවේ අවසන් කෙටුම්පතක් වත් තවම නිර්මාණය වී නැති බවයි. එවන් පසුබිමක මොවුහු තම පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් රටටම බොරු කියමින් සිටිති; මිථ්‍යාව සමාජගත කරමින් සිටිති.
අද නව ව්‍යවස්ථාවට විරුද්ධව කටයුතු කරමින් ඉන්නා කණ්ඩායමේ ඉතිහාසය සොයා බැලීම වැදගත්ය. නව ව්‍යවස්ථාවක් රැගෙන ඒම සම්බන්ධයෙන් සිදු වූ අතීත උත්සහයන්වලදී මේ කණ්ඩායම සිටියේ කුමන ස්ථාවරවලද යන්න අප දැනගත යුතුය. එසේ සොයා බැලීමේදි මේ කල්ලිය දේශපාලන වංකත්වයෙන්, අවස්ථාවාදීව කටයුතු කළ ආකාරය මනාව පැහැදිලි කරගත හැකිය.
විශේෂයෙන්ම 2000දි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු ජනපතිනියගේ පාලන කාලය තුළ දේශපාලන විසඳුම් යෝජනාවලිය 'පැකේජය' ගෙන ආ අවස්ථාවේ ඒ ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ ප්‍රබල ඇමැතිවරයෙක් විය. අද නව ව්‍යවස්ථාවට එරෙහිව කෑගසන ඒකාබද්ධ විපක්ෂයයැයි කියාගන්නා කණ්ඩායමේ බොහෝ දෙනා ඒ අවස්ථාවේ 'පැකේජය' වෙනුවෙන් දැඩිව පෙනී සිටි අයය. හාස්‍යජනකම කාරණය වන්නේ එම 'පැකේජයේ' න්‍යායාචාර්යවරයා වූයේ අද ඒකබන්ධ විපක්ෂයයැයි තමන්ව හඳුන්වාගන්නා පිරිසේ ගුරුවරයාගේ භූමිකාව රග දක්වන ජීඑල් පීරිස්ය.
උතුරේදී එක් ප්‍රකාශයක් කර දකුණේදී ඊට පරස්පර විරෝධී වෙනත් ප්‍රකාශ කිරීමේ දෙබිඩි පිළිවෙත අනුගමනය කළ අනෙක් චරිතය වන්නේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ජනපති මහින්ද රාජපක්ෂයි. අන්තර්ජාතික ප්‍රජාවෙන් එල්ල වූ ප්‍රබල පීඩනය හමුවේ තවදුරටත් තම දෙබිඩි රංගනය කරගෙන යාගත නොහැකි වූ තැන 2014 වසර අවසානයේදී ශ්‍රී ලංකාවේ සංහිඳියා සහ බලය බෙදීමේ ක්‍රියාවලිය කරගෙන යෑම සදහා මහින්ද දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති සිරිල් රම්පෝසාව රැගෙන ආවේය. සිරිල් රම්පෝසා යනු දකුණු අප්‍රිකාවේ ජනාධිපති ජේකෝබ් සූමාගේ දෙවැනියාය. එවකට රජයේ ඇමතිධූර දැරූ විමල් වීරවංශ වැන්නන් ප්‍රකාශ කළේ සිරිල් රම්පෝසා ශ්‍රී ලංකාවට පැමිණියේ සංචාරයකු ලෙස බවයි. එහෙත් 2014 ජනවාරි නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමක් දකුණු අප්‍රිකාවට යවා, එහි පැවති සුප්‍රකට 'සත්‍යය සහ සංහිඳියා කොමිසම' ගැන අධ්‍යයනය කර වාර්තාවක් ලබාගැනීමටද, දකුණු අප්‍රිකා රජයේ සහාය ලබාගැනීමටද රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කර තිබිණි. 'සත්‍යය සහ සංහිඳියා කොමිසම' යනු දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය තුරන් කිරීමෙන් අනතුරුව ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සදහා පිහිටුවූ කොමිසමයි. එහි ක්‍රියාකාරීත්වය දෙස බැලීමේදී එදා මහින්ද රාජපක්ෂ, හිටපු ජනපතිවරයා සැලසුම් කළේ කුමන ආකාරයේ බලය බෙදීමක්ද යන්න පැහැදිලිය.
ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව දකුණු සමාජය ඉදිරියේ ප්‍රකාශ සිදු කරමින් ඔවුන් සනසන්නට කටයුතු කළ මහින්ද රාජපක්ෂ පසුව ඉන්දියාවේදී 13+ පවා ලබාදීමට තමන් සූදානම් බව ප්‍රකාශ කළේය. මෙලෙස ‘රෑ දැනියෙල් දවල් මිගෙල්‘ ප්‍රතිපත්ති පෙරදැරිව නැවතත් පක්ෂ 14කින් සමන්විත සර්ව පාක්ෂික සමුළුව හරහා නැවතත් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු පැවසීය. හාස්‍යයට තුඩු දෙන කාරණය වන්නේ ඒ සර්ව පාක්ෂික සමුළුවේ මුල් පුටු දැරූ වැඩි දෙනකු අද ඒකාබද්ධ විපක්ෂයැයි පැවසෙන කණ්ඩයමේ ඉදිරි පෙළ අසුන් දරමින්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලය බෙදනාවායැයි කෑමොර දීමය.
නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් මේ කණ්ඩායමට දිගින් දිගටම පැවතියේ පටු අවස්ථාවාදි මතයන් පමණි. එහෙත් රටක් වශයෙන් අප ඉදිරියට යෑමට නම් මෙවන් දේශපාලනික අවස්ථාවාදී ප්‍රකාශ සම්බන්ධයෙන් තවදුරටත් වැඩි තැකීමක් කිරීම සුදුසු නොවේ.
මෙහිදී අප මෙරටේ භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන්ද යමක් කිව යුතුව ඇත. සිංහල බෞද්ධ අධිපතිවාදි සංස්කෘතියක් තුළ අප රටේ භික්ෂූන් වහන්සේ සැලැකෙන්නේ ජාතියේ මුරදේවතාවන් ලෙසය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමස්තය සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමට ඔවුන් සතු සුදුසුකම් සම්බන්ධයෙන් අපට ප්‍රශ්නයක් ඇතත්, රටේ බහුතරයගේ ගෞරවයට පාත්‍ර වූ පිරිසක් ලෙස අප උන් වහන්සේගෙන් මෙහිදී බලාපොරොත්තු වන්නේ ගරුකටයුතු, වගකීම්සහගත හැසිරීමකි. තවමත් කෙටුම්පත් නොකෙරූ ව්‍යවස්ථාවක් සම්බන්ධව, දෙබිඩි පිළිවෙත් දැරූ අපකීර්තිමත් පිරිසකගේ ප්‍රකාශ ඇසුරෙන් උන්වහන්සේලා නිල ප්‍රකාශ සිදු කිරීමට යෑම නම් විහිළුසහගත තත්වයකි.
ලොව කිසිදු ස්ථානයක යුද්ධයකින් සියල්ල ජය ගෙන නැත. ජයග්‍රහණය කළ හැක්කේ මිනිස් හදවත්ය, සාමයය, සංහිඳියාවය. සංහිඳියාව ඇති කළ හැක්කේ දැඩි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මාර්ගයෙනි. ගංවතුර නිසා දින කීපයක් කූඩාරම්වල ගත කිරීමට සිදු වීම සම්බන්ධයෙන් ආණ්ඩු පෙරළීමට තරම් හඩ නඟන දකුණේ සමාජය දශක තුනක් මරබියෙන් ගැහෙමින් කූඩාරම්වල දිවි ගෙවූ මිනිසුන් තේරුම් ගන්නට සූදානම් නැත. මේ ප්‍රශ්න දේශපාලනිකව ආමන්ත්‍රණය කිරීම වැදගත් වනුයේ එවන් සන්දර්භයකය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා රටේ ඒකීයත්වයට සහ බුදු දහමට කිසිදු ගැටලුවක් නොවෙන බවට රටේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යන දෙදෙනාම වගකීම් සහගතව පුනපුනා ප්‍රකාශ කරද්දී, සටන් පාඨ අහිමිව, සටන් පාඨ හිඟමනේ යන බංකොලොත් දේශපාලන කල්ලිවල ප්‍රකාශ මත පදනම්ව කටයුතු කිරීම මේ රටේ භික්ෂුවගේ ගරු කටයුතුභාවය සහ කාර්යභාරය ප්‍රශ්න කරවයි. මේ රටේ ජනතාව කළ යුත්තේ ඔවුන් විශ්වාස කිරීමද? ඔවුන් පසුපස යෑමද? එය තීරණය කිරීමට අවස්ථාව මෙයයි.
COMMENTS