නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා හට සේවා දිගුවක් ලබාදෙයි ද ? නොදෙයි ද? යන කාරණය සම්බන්ධයෙන් මේවනවිට ආරක්ෂක අංශ තුල දැඩි ආන්දෝලනයක් මතුව...
නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා හට සේවා දිගුවක් ලබාදෙයි ද ? නොදෙයි ද? යන කාරණය සම්බන්ධයෙන් මේවනවිට ආරක්ෂක අංශ තුල දැඩි ආන්දෝලනයක් මතුව තිබේ.
තම ගම් ප්‍රදේශයේ අයකු නාවික හමුදාපති කිරීමට ආණ්ඩුවේ ප්‍රබලයින් පිරිසක් හා කිසියම් සමාජ කුලයකට අයත් ආරක්ෂක අංශයේ පුද්ගලයින් පිරිසක් දරණ උත්සාහය ඊට හේතුවී ඇතැයි ආරක්ෂක අංශ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
සින්නයියා දෙමළ ජාතිකයෙකු වීම නිසා ඔහුව නාවික හමුදාපති නොකරන්නැයි අදාළ පිරිස මීට පෙර ජනාධිපතිවරයාට බලපෑම් කර තිබිණ.
කෙසේවුවද එවැනි ජාතිවාදීන්ගේ හා කුලවාදීන්ගේ බලපෑම් මායිම් නොකල ජනාධිපතිවරයා ට්‍රැවිස් සින්නයියා මාසයකට හෝ නාවික හමුදාපති කිරීමට කටයුතු කළේය.
සින්නයියාට සේවා දිගුව මසක් වුණේ ඇයි ?
ට්‍රවැස් සින්නයියාගේ සේවා දිගුව මාසයකට සීමා වී ඇත්තේ ද කුලවාදීන්ගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන් බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
එහි ප්‍රකාශකයකුගෙන් අප මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ නාවික හමුදාපතිවරයා කාලයකට පෙර සිය සේවා දිගුව ඉල්ලා ආරක්ෂක අමාත්‍යංශයට ලිපියක් යොමුකර තිබුණද එය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න මහතා විසින් සඟවා තිබූ බවයි.
කෙසේවුවද, තම සේවා දිගුව ලැබෙන්නේද නැද්ද යන්න පිළිබඳව දැනගැනීමට නාවික හමුදාපතිවරයා ජනාධිපතිවරයාව මුණගැසී ඇති අතර, එහිදී මේ පිළිබඳ කළ විමසීමකදී අදාල ඉල්ලීම නොලැබුණ බව ජනාධිපතිවරයා පවසා ඇති බවද එම ප්‍රකාශකයා කියා සිටියේය.
ඊට පසුදිනයේදී ජනාධිපතිවරයා ඇමෙරිකාවේ යාමට සිටින බැවින්, යළිත් මෙරටට පැමිණි පසු ඒ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීමේ එකඟතාව මත සින්නයියාට මසක සේවාදිගුවක් ලබාදීමට ජනපතිවරයා අවසානයේදී කටයුතු කළ බවද ඔහු කියා සිටියේය.
නැව හේතුවක්ද ?
රුසියාවෙන් මිලදී ගැනීමට යන නෞකාව සම්බන්ධ ගණුදෙනුව පිළිබඳව එල්ලවූ මාධ්‍ය විවේචනය සින්නයියා මහතාගේ සේවා දිගුව ලබා නොදීමට හේතුවක් වූයේ දැයි අප අදාළ ප්‍රකාශකයාගෙන් විමසූ විටදී ඔහු කියාසිටියේ එය පදනමක් නොමැති කාරණාවක් බවයි.
කරන්නාගොඩද කාරණේ
නොඑසේ නම් හිටපු හමුදාපති කරන්නාගොඩ මහතාට විරුද්ධව ත්‍රිමලේ සිසුන් 11 ඝාතන සිදුවීම් ගැන සින්නයියා මහතා හෙළිකර ඇතැයි යනුවෙන් මාධ්‍යයේ වන වාර්තා ඔහුගේ සේවා දිගුව නොදීමට හේතුවූයේ දැයි අප අදාළ ප්‍රකාශකයාගෙන් වැඩිදුරටත් කළ විමසීමේදී ඔහු කියා සිටියේ එය අසත්‍ය කාරණාවක් බවයි.
රියල් අද්මිරාල් පී.එච්. ද සිල්වා
සින්නයියා විශ්‍රාම යාමෙන් පසුව නාවික හමුදාපති ධූරයට ජ්‍යෙෂ්ඨත්වය අනුව පත්වන්නේ නම් පත් කළ යුතුවන්නේ රියර් අද්මිරාල් එස්.එච්. රණසිංහ මහතාය.
කෙසේවුවද, ඔහුට මසකට වඩා වැඩි කාලයක් අදාළ ධූරය දැරිය නොහැකි බව පැවසේ. ඒ ඔහුගේ විශ්‍රාමික වයස සම්පූර්ණ වීම නොවැම්බර් මාසයේ සිදුවීමට නියමිත බැවිනි.
ඊළඟට එම ධූරයට සුදුසුකම් ඇත්තේ එන්.බී.ටී. රොසයිරෝ මහතාට ය. ඔහුටද අදාළ ධූරයට පත්වුවහොත් එම ධූරය දැරිය හැක්කේ ලබන වසරේ (2018) ජනවාරි 04 වැනිදා දක්වා පමණි. එදිනට ඔහුගේද විශ්‍රාමික වයස සම්පූර්ණ වේ.
කෙසේවුවද, මේ අනුව පත්වීම් ලබාදෙන්නේ නම් එහි වාසිය ලැබෙන්නේ තෙවැනි වරට අදාළ අවස්ථාව ලබාගන්නා පී.එච්. ද සිල්වා මහතාට ය.
ඔහුට 2020 ජූලි 17 වැනිදා දක්වා අදාළ ධූරය දැරිය හැකිය.
කුලවාදීන්ගේ කුමන්ත්‍රණය දියත්ව ඇත්තේ පී.එච්. ද සිල්වා මහතා අදාල ධූරයට පත් කිරීම සඳහාය.
වත්මන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න මෙන්ම ඔහු ද, අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් පැමිණි අයෙකි.
කෙසේවුවද, සින්නයියාට සේවා දිගුවක් ලබාදීමෙන් පී.එච්. ද සිල්වා මහතාට විශාල අවාසියක් නොවේ. ඒ ඔහුට නාවික හමුදාවෙන් විශ්‍රාමයාමට තවත් වසර 3කටත් වැඩි කාලයක් ඇති බැවිනි.
මහ මොළකරු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීයා
සින්නයියා මහතා නාවික හමුදාපති කිරීමට වැඩිම විරුද්ධත්වයක් දැක්වූ අය ලෙස සැලැකෙන්නේ හිටපු නාවික හමුදාපති හා වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාය.
ඔහු නාවික හමුදාපතිව සිට ඉන් විශ්‍රාම ගියද ගෙවී ගිය දෙමස තුළ සින්නයියා මහතාට නාවික හමුදාපතිවරයා සතු කොළඹ ස්ටැන්මෝර් චන්ද්‍රවංකයේ පිහිටි නිල නිවස ලබා නොදුන් අතරම නාවික හමුදාපතිවරයාව සිටියදී භුක්ති විඳි මෝටර් රථ 11ක්ද ඔහු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයාව පත්ව යද්දී රැගෙන ගොස් තිබේ.
වත්මන් නාවික හමුදාපති සින්නයියා මහතා තවමත් සිටින්නේ හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි නාවික හමුදාවේ නිලධාරීන්ට ලැබෙන තුන්වැනි පන්තියේ නිවසකය.
විජේගුණරත්න මහතා ද අම්බලන්ගොඩින් නාවික හමුදාවට පැමිණි මතභේදාත්මක කුලේම අයෙකි.
සින්නයියා මහතාට නිල නිවස නොදුන් විජේගුණරත්න මහතා අදාළ නිල නිවස ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න මහතාට ලබාදීමට මේවන විට කටයුතු යොදා තිබේ.
විජේගුණරත්න මහතා සින්නයියා මහතාට අදාළ නිල නිවස නොදී සිටින්නේ ඔහුට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයා ලෙස බුලර්ස් පාරෙන් නිල නිවසක් ලැබී තිබියදීය.
ෆීල්ඩ් මාර්ෂල්ට පෙනෙන සත්‍යය
කෙසේවෙතත්, මේ සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා දරන්නේ වෙනත් මතයකි.
ෆොන්සේකා මහතා අම්බලන්ගොඩින් ආ අදාළ කුමන්ත්‍රණකාරී පිලේ කුලේම අයෙක්වුවද සින්නයියා මහතාට සේවා දිගුවක් ලබාදීම නාවික හමුදාවේ වර්ධනයට වැදගත් බව ඔහු ජනාධිපතිවරයාට පවසා තිබේ.
ඔහු පවසා ඇත්තේ මාසයෙන් මාසයට නාවික හමුදාපතිවරු මාරු කිරීම නාවික හමුදාවට මෙන්ම රටේ ආරක්ෂාවට ද යහපත් නොවන බවයි.
ඇමතිවරු සින්නයියා අගයයි
මේ අතර, සින්නයියා මහතාට සේවා දිගුවක් ලබාදීම මගින් තමා කුල-මල-ජාති-භේද නොතකන බව දේශීය වශයෙන් ජාත්‍යන්තර මට්ටමෙන් ද පසක් කිරීමට ජනපතිවරයාට කදිම අවස්ථාවක් බව අමාත්‍යවරු කිහිපදෙනෙකුම පෙන්වාදී තිබේ.
එසේම ඔවුන් පවසා ඇත්තේ නායකයෙකු ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිවැරදි තිරණයක් ගනු ඇති බවට විශ්වාසයක් පවතින පවයි.
ජනපති තීන්දුවට පැය 24යි
කෙසේවෙතත්,ජනාධිපතිවරයා ලබන අඟහරුවාදා දින කටාර් බලා පිටත්ව යාමට නියමිත අතර ඊට පෙර සින්නයියාට සේවා දිගුවක් ලබා නොදුනහොත් ඔහු අදාළ ධූරයෙන් විශ්‍රාමයාම වැළැක්විය නොහැකිය.
කුලවාදින්ගෙන් එල්ලවන බලපෑම් දිනෙන් දිනම තීව්‍රවී ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වන නමුත්, ජනාධිපතිවරයා දීපවාලී උත්සව අවස්ථාවේදී ප්‍රකාශ කළ පරිදිම සියලු අභියෝගයන් හමුවේ මේ සම්බන්ධයෙන් සාධාරණ පිළිතුරක් ලබාදෙනු ඇති බවටද ආරක්ෂක අංශවල දැඩි විශ්වාසයක් පවතින බවද මේ අතර වාර්තා වේ.
(SLM)
COMMENTS