ඇහිපියන් යන්තමක් අඩවන්ය හද අගුළු වෙත යෙදූ මුරපද බිඳිනකොට නිකට මුල කලු උපන් ලපයද තවමත් එතැනමය - එහෙමමය. ඒත් කෝ අර වම් කම්මුලේ සුළිය...
ඇහිපියන් යන්තමක් අඩවන්ය
හද අගුළු වෙත යෙදූ මුරපද බිඳිනකොට
නිකට මුල කලු උපන් ලපයද
තවමත් එතැනමය - එහෙමමය.
ඒත් කෝ අර වම් කම්මුලේ සුළිය?
කොස්සන් හිනා එක්ක කොපුල් ඇතුලට එබෙන
අන්තිමේ රෝස පැහැ ගෙන බැබලෙන
ඉතින් ඔබ දිගු දෙ'අත් විසිකර
දොර වසන තුරු බලා ඉමි මම
අලුත් මුර පද බැඳ,බැඳ
යළිත් ඔබ හද'ගුළු පිරික්සන
"අනේ පණ්ඩිත මැටි කෙල්ල!"
සිනහවෙමි කට කොණින් මම ආයෙම
අගුළු තදකර වසන මුත් ඔබ
මම තවම හදවතේ ඇතුලත පැත්තෙ ය.
ඔන්න ඔබ හැරී ඇස් ලොකුකර බලන,
"චටස්" ගා නලලතට අත්ලෙන් ගසන
ඉනික්බිති රැළි බිඳෙන හසරැල් සයුරෙහි
අපි දෙදෙන අතිනත වෙලාගෙන කිමිදෙන
අන්න අර වම් කම්මුලේ සුපුරුදු සුළිය!
කොපුල් ඇතුලට තව තවත් ගැඹුරට එබෙන
වෙනදාට වැඩි කාන්තියකින් බැබලෙන!
COMMENTS