දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ මූලික කරුණු සම්බන්ධයෙන් අගමැතිගෙන් ප්‍රකාශයක්
Homeප්‍රවෘත්ති

නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ මූලික කරුණු සම්බන්ධයෙන් අගමැතිගෙන් ප්‍රකාශයක්

PropellerAds

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) දින පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් මේ වන විට කෙ‍ටුම්පත් වෙමින් පවතින නව ආණ්ඩුක්‍රම ව්‍යස...

අද මුළු රටම කතාවෙන්නේ සජිත් මීලග අගමැති කියායි.. මහින්දත් බයවෙලා ඉන්නේ - අජිත් පෙරේරා
මෛත‍්‍රී නැතිනම් ගෝටාභයට ජනාධිපති වෙන්න බැ.. අගමැතිකමට මෛත‍්‍රී සුදුසුයි - අමරවීර
upul tharanga

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) දින පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් මේ වන විට කෙ‍ටුම්පත් වෙමින් පවතින නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ මූලික කරුණු සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කර සිටියා.

ගරු කතානායකතුමෙනි,

2015 ජනවාරි 8 වනදා ශ්‍රී ලංකාවාසී ජනතාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන බවට අප දුන් පොරොන්දුව ඉටු කිරීමේ තවත් පියවරක් අද ජාතික ආණ්ඩුව ගන්නවා. අප සකස් කරන්නට බලාපොරොත්තු වන්නේ ජාති, ආගම්, වර්ග හෝ සමාජ පසුබිම පිළිබද භේදයකින් තොර සියලූ ශ්‍රී ලාංකිකයන්ට පොදුවේ ප්‍රයෝජනවත් වන ව්‍යවස්ථාවක්. එය, අප විසින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගනු ලැබීමෙන් අත් කර ගන්නා ප්‍රගතියේ ප්‍රතිලාභ සියලූ ශ්‍රී ලාංකිකයන්ට බෙදී යන බව තහවුරු කරන නව ප්‍රගතිශීලී වැඩරාමුවක් අර්ථ දක්වන ව්‍යවස්ථාවක්.

අප මේ අවස්ථාව යොදාගත යුත්තේ අපේ ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කිරීමට සහ සාමය හා ස්ථාවරත්වය ගොඩනගා ගැනීමටයි. මේවා දශක 3 කටත් වැඩි කාලයක් තිස්සේ අපේ ජාතියට ආගන්තුක වූ දේවල්. ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ හා සියල්ලන්ට සමෘද්ධිය තහවුරු කිරීමේ අපේ පොදු අරමුණ සාක්‍ෂාත් කර ගැනීමට මෙවැන්නක් අත්‍යවශ්‍යයි. රැකියා උත්පාදනයටත්, පෞද්ගලික ආයෝජන ගෙන්වා ගැනීමටත්, සියලූ ශ්‍රී ලාංකිකයන්ගේ සමෘද්ධිය වර්ධනය කර ගැනීමටත් ශක්තිමත් ආර්ථිකයක් හා සංවර්ධනයක් අත්‍යවශ්‍යයි.

අද අප සියලූ දෙනාටම ඉතා වැදගත් දවසක්. මෙතෙක් කලක් අපව ගැටුම් හා දේශපාලනමය ප්‍රචණ්ඩත්වයේ දුෂ්ඨ චක්‍රයක සිරකර තබා ගනිමින් අපේ ආර්ථික වර්ධනයට තර්ජනයක් වූ බෙදීම් හා දුරස්ථභාවයන් දුරු කරන පාලමක් සාදා ගැනීමේ මහඟු අවස්ථාවක් අපට උදා වී තිබෙනවා. ව්‍යවස්ථා කෙටුම්පතක් සඳහා වන නෛතික ලියවිල්ල සාකච්ඡා කිරීම සඳහා පදනම් කර ගත හැකි අතුරු වාර්තාව අද මම සභාගත කරනවා.

මෙහි පළමු පරිච්ඡේදයට, මෙහෙයුම් කමිටුවේ ප්‍රයත්නය පිළිබිඹු වන මූලධර්ම හා සූත්‍රයන් අඩංගු වෙනවා. ඒ මූලධර්ම හා සූත්‍රයන් පිළිබඳව මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් දැක්වූ නිරීක්‍ෂණ හා විවේචන දෙවන පරිච්ඡේදයට ඇතුළත්. ඒ නිසා බහුතර වාර්තාවක් හෝ සුළුතර වාර්තාවක් අවශ්‍ය වන්නේ නැහැ. කමිටු සාමාජිකයින්ගේ සියළු අදහස් මේ වාර්තාවට ඇතුළත්.

දෙමළ ජාතික සන්ධානය පෙර නොවූ විරූ පියවරක් ඉදිරියට තබමින් මේ අතුරු වාර්තාවේ ඇතුළත් කොන්දේසිවලට ජාතික ආණ්ඩුවේ ප්‍රධාන පක්‍ෂ දෙක එකඟ වන්නේ නම් තමන් ද එකඟ වන්නට කැමති බව කියා තිබෙනවා.

පළමු පරිඡේදයෙන් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් විය යුතු බව යෝජනා කර තිබෙනවා. එමෙන්ම මේ පරිච්ඡේදයෙහි බලය බෙදීමේ මූලධර්ම ද ඇතුළත් කර තිබෙනවා. මේ නිසා දැන් මේ මූලධර්ම සම්බන්ධයෙන් අප තුළ එකඟතාවක් ඇති කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ තීරණයක් ගැනීම එජාපය හා ශ්‍රීලනිපය මත පැවරී තිබෙනවා. එවැනි එකඟතාවක් ඇති කර ගැනීමට අපට තිබෙන හැකියාව අනුවයි මේ රටේ අනාගතය තීරණය වන්නේ.

දශක ගණනාවක් තිස්සේ පැවැති ආතතිය හා භේදභින්න වීම් ඉවත දමා, එකඟතාවක් ගොඩනගා ගැනීමේ අභිලාශයෙන් බෙදා වෙන් කළ නොහැකි ඒකීය ශ්‍රී ලංකාවක් පිළිගැනීමට සියලූ සාමාජිකයන් සූදානම්. ඒ වගේම වැඩිදුරටත් බලය බෙදීමකට ද සූදානම්. මෙහි පැහැදිලි අරමුණක් වන්නේ ශ්‍රී ලංකාවාසී ජනතාව සාමයෙන් හා එකමුතුකමින් ඇඳබැඳ තබන්නට ඇති කැපවීම පෙන්වීමයි.

අපි අපේ රටේ දේශපාලන පදනමෙහි ලොකු වෙනසක් අත්දකිමින් සිටිනවා. එනම් අතීතයේ තිබුණු බෙදුම්වාදී භයානක ස්වරූපයෙන් ඈත්ව අනාගතය කෙරෙහි යොමු වූ නව දිශාවකට ගමන් කිරීමයි. මේ රජය සහය දක්වන්නේ එවැනි වෙනසකටයි.

ගත වූ දශක තුනක කාලය තිස්සේ අපි සිතාගන්නට බැරි තරම් දුක්පීඩා කරදරවලින් බැටකෑවා. දැන් පළමු වතාවට අපට එකමුතුව ඉදිරියට ගමන් කළ හැකි පොදු වේදිකාවක් හමු වී තිබෙනවා. පසුගිය අවුරුදු දෙක පුරා මේ රජය රටේ පවතින දේශපාලන, වාර්ගික හා ආගමික ආතතිය ආමන්ත්‍රණය කිරීමට මහත් පරිශ්‍රමයකින් වැඩ කළා. අපි එසේ කළේ අපේ ආර්ථික වර්ධනයට ඒ ගැටළුවලින් විශාල අභියෝගයක් එල්ල වන බව දන්නා නිසයි. සාමය හා ස්ථාවරත්වය ඇති කර ගැනීම සඳහා කෙරෙන මේ නව කැපවීම ශ්‍රී ලංකාවේ මතු අනාගත පරපුරට වාසනාවන්ත වෙනසක් ඇති කරාවි. මේ වටිනා අවස්ථාව අපේ අතින් ගිලිහෙන්නට ඉඩ දිය නොහැකියි.

අපි බොහොම වෙනස් ප්‍රවේශයකට පය තබන බව මෙයින් පෙනී යනු ඇතැයි මා බලාපොරොත්තු වනවා. අපේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ වෛරයට කිසිඳු ඉඩක් නැහැ. ඒ වගේම අපේ අනාගතයටත් එවැනි ඉඩක් තිබිය නොහැකියි. අපේ රට නැවතත් වෛරී අතීතය කරා ඇද දැමීමට ඉඩ දිය නොහැකියි. ඒ වගේම අපේ රට වෛරයෙන් කැබලි කරන්නටත් අපි ඉඩ දෙන්නේ නැහැ.

අපි අග්‍රගන්‍ය ප්‍රෞඩ බෞද්ධ ජාතියක්. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මේ තත්ත්වය සුරැකෙනවා. ඒ වාගේම බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය අපේ සමාජය තුළ ආරක්‍ෂා කෙරෙනවා. ඇත්ත වශයෙන්ම අපේ නව ව්‍යවස්ථාවට පදනම් වන්නේ බෞද්ධ ප්‍රතිපත්ති හා මූලධර්මයි. බුදුරජාණන් වහන්සේ ඉගැන්වූයේ වෛරයෙන් වෛරය නොසන්සිදෙන බවයි. අවෛරයෙන් වෛරය ජයගතයුතු බවයි. අද අපි ඉටු කර ගන්න බලාපොරොත්තු වන අරමුණෙහි හරය එයයි. ඒ වගේම ඉදිරියේදීත් අපේ ජාතියට මඟපෙන්වීම සඳහා මේ බෞද්ධ ඉගැන්වීම් කෙරෙහි අප විශ්වාසය තබනවා.

නැති ප්‍රශ්න ඉස්මතු කරමින්, අනවශ්‍ය බියක් ඇති කරමින්, ආර්ථිකය විනාශ කරමින් ජනතාව බෙදා වෙන් කිරීමට අපි ඉඩ දෙන්නේ නැහැ. අද අප ඔබ වෙත පැමිණ සිටින්නේ විසඳුමක් සමගයි.

මේ වාර්තාවෙන් අපේ රට මුහුණ දෙන බරපතළ අභියෝග කිහිපයක් ආමන්ත්‍රණය කර තිබෙනවා. වඩාත් කාර්යක්‍ෂම හා ඵලදායී කරලීම සඳහා රජය ප්‍රතිව්‍යූහගත කිරීමේ අවශ්‍යතාව අප හඳුනාගෙන තිබෙනවා. අපේ ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන්, දැඩි ලෙස මධ්‍යගත වූ පාලන ව්‍යූහය වෙනුවට ප්‍රාදේශීය කලාපවල අවශ්‍යතා ආමන්ත්‍රණය කළ හැකි ක්‍රමවේදයක් නිර්මාණය වෙනවා. බලය බෙදීම ප්‍රමුඛතාවක් වන්නේ ඒ නිසයි. උතුරේ සිට දකුණ දක්වා සියළු පළාත්, බලය බෙදීමට සහය දක්වා තිබෙනවා. ඇත්ත වශයෙන්ම දකුණේ පළාත් සභාවල ප්‍රධාන අමාත්‍යවරු මෙහි ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළා. අපේ විවිධාකාර අවශ්‍යතා කාර්යක්‍ෂමව ආමන්ත්‍රණය කිරීම සඳහා අවශ්‍ය බලය බෙදීමේ මූලධර්ම සකස් කළේ ඔවුන්ගේ නිර්දේශ පදනම් කර ගෙනයි. රාජ්‍යයේ ස්වභාවය ආරක්‍ෂා කර ගන්නා අතරම පළාත් සභා වෙත වැඩි බලයක් බෙදාහැරීමෙන් පළාත් මට්ටමේ සංවර්ධනය ක්‍රියාත්මක කරවීම පිණිස රාජ්‍ය පාලනයේ දෙවන තලය නිර්මාණය කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න අපට හැකි වනවා.

අතුරු වාර්තාවේ ඇතුළත් යෝජනාවල කොටසක් වශයෙන් පළාත් පාලන ආයතන රාජ්‍ය පාලනයේ තුන්වන තලය වශයෙන් හඳුනාගනු ලබනවා. එමගින් විවිධ ප්‍රජාවන්හි විශේෂිත අවශ්‍යතා ආමන්ත්‍රණය කිරීමට ඉලක්ක ගත වියදම් හා විශේෂයෙන් සැකසූ රාජ්‍ය සේවා වඩාත් හොදින් සැපයීම පහසු කිරීමට බලාපොරොත්තු වනවා. මෙයටත්, එසේම මේ වාර්තාවේ ඇතුළත් අනෙකුත් යෝජනා බොහෝමයකටත් ආණ්ඩු පක්‍ෂයේත් විපක්‍ෂයේත් පුළුල් සහයෝගයක් ලැබීම මට සතුටක්.

කෙසේ වෙතත් විධායකයේ සහ ජනාධිපතිවරයාගේ කාර්ය භාරය නිර්වචනය කිරීමේ කටයුතුවල තවත් නිරාකරණය කර ගත යුතු ක්ෂේත්‍ර තිබෙනවා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේත්, ජනතාව අතරත් පුළුල් සංවාදයක් අවශ්‍යයි. නමුත් වැඩි කල් නොගොස් ඒ සම්බන්ධයෙන් පොදු එකඟතාවයකට පැමිණෙන්නට හැකි බව අපට විශ්වාසයි.

මේ අතුරු වාර්තාව සත්‍ය වශයෙන්ම සාමූහික ප්‍රයත්නයක්. ඊට අදාළ ක්‍රියාවලිය මුළුල්ලේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහයෝගය ලැබුණා. මෙය ස්වාධීන කමිටුවල මාස ගණනාවක පරිශ්‍රමයේ ප්‍රතිඵලයක්. නව ව්‍යවස්ථා කෙටුම්පත සම්පාදන කාර්යය අධීක්‍ෂණය කිරීම පිණිස ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවනු ලැබුවේ 2016 මාර්තු 9 වනදායි. එය ඒකමතිකව මෙහෙයුම් කමිටුවක් පත් කළා. එමගින් ප්‍රධාන වැදගත් විෂය ක්ෂේත්‍ර 12 ක් හඳුනා ගත්තා. ඉන්පසු ව්‍යවස්ථා සභාව විසින් ස්වාධීන අනුකමිටු තෝරා ගත්තා. මෙහෙයුම් කමිටු විසින් ඒ අනුකමිටුවලට ප්‍රධාන ක්ෂේත්‍ර 6ක් පැවරුවා. අදාළ අනුකමිටු 6 වාර්තා 2016 නොවැම්බර් 19 වන දින සභාගත කළා. ඉදිරි විෂය ක්ෂේත්‍ර 6 ට අදාළ අතුරු වාර්තාව අද මෙහෙයුම් කමිටුව විසින් සභාගත කරනවා.

මෙහෙයුම් කමිටුවේ සිට අනු කමිටු දක්වා සෑම මට්ටමකදීම සාමාජිකයන් තෝරා ගැනීමේදී සියලූ ශ්‍රී ලාංකිකයන් නියෝජනය වන පරිදි හා සියල්ලන්ම ඇතුළත් ක්‍රියාවලියක් බවට තහවුරු වන පරිදි ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළා. ඒ නිසා මෙමගින් රටපුරා ධනාත්මක පොදු විවාදයක් ඇතිවේ යැයි අප බලාපොරොත්තු වෙනවා. මෙය අපේ ආණ්ඩුව විසින් සංවර්ධනය කර ලබාගත් ප්‍රගතියක් යැයි අපට ආඩම්බර වන්නට පුළුවන්.

මෙය ඓතිහාසික අවස්ථාවක්. කලක් ඉතා තදින් භේද බින්න වී සිටි රටක පොදු සම්මුතියක් ඇති කර ගැනීම සඳහා ආණ්ඩුවත් විපක්‍ෂයත් එකතු වුණා. ඒ විතරක් නොවෙයි. එකට එකමුතුව වැඩ කිරීමෙන් අප සියල්ලන්ටම පොදු වු අරමුණු, ඉලක්ක හා දැක්මක් ඇති බව වටහා ගත්තා. සියල්ලන්ටම සාමය, සමෘද්ධිය හා ආර්ථික ශක්තිය ගෙන දෙන දැක්මක් ඇති බව වටහා ගත්තා. අපෙන් අනාගතයට උරුම වන්නේ නිදහස් සමානාත්මතාවෙන් යුතු සාමකාමී ශ්‍රී ලංකාවක්. සමෘද්ධියෙන් වර්ධනය වන ශ්‍රී ලංකාවක්. සියල්ලන්ටම යහපත් හෙට දවසක් උදාකරන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම උදෙසා එකමුතුව වැඩ කරන ශ්‍රී ලංකාවක්.

මේ අතුරු වාර්තාවත් අනු කමිටු හයේ වාර්තා සමග විවාදයට ගැනෙනවා. මේවා ව්‍යවස්ථාදායක සභාව තුළ පමණක් නොවෙයි රට පුරාම පුළුල්ව විවාදයට හා සාකච්ඡාවට ලක්වනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. මොකද අවසානයේ සකස් විය යුත්තේ මුළු රටටම, සියලූ දෙනාටම බලපාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්.

ඉන් අනතුරුව මෙහෙයුම් කමිටුව ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමට ක්‍රියා කරනවා. ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමෙන් පසු මෙහෙයුම් කමිටුව අවසාන වාර්තාව ව්‍යවස්ථාදායක සභාව වෙත ඉදිරිපත් කරනවා. මෙය අපේ රටට ඉතා වැදගත් ක්‍රියාවලියක් වන අතර අපි සියලූ දෙනාම ඊට සම්බන්ධ විය යුතුයි. මේ ව්‍යවස්ථාවෙන් අපේ රට පරිවර්තනයකට භාජනය වන අතර, සමෘද්ධියේ සහ වර්ධනයේ නව යුගයක් මෙයින් සංකේතවත් වේවි.

භේදභින්න වීම්, ගැටුම් සහ ස්වාර්ථය වෙනුවෙන්ම පාලනය ගෙන ගිය ම්ලේච්ඡ නායකත්වයක් නිසා අපේ රට දරුණු ලෙස විනාශ මුඛයට පත් වුණා. අපි බොහෝ දෙනකුට දරුවන්, මව්පියන්, ඥාතීන් සහ මිත්‍රයින් අහිමි වුණා. අප රට තුළ පැතිර ගිය බෙදුම්වාදය හා දේශපාලනික ප්‍රචණ්ඩත්වය අපේ ජීවිත මෙන්ම අපේ අනන්‍යතාවය පිළිබඳ හැඟීමත් විනාශ කළා. එමගින් අපි එකිනෙකාට උරණ වුණා. බෙදී වෙන්වීම් මගින් අප අපවම දුර්වල කර ගත්තා. අපේ ජාත්‍යන්තර කීර්තියත් විනාශ වුණා.

අප බලයට පත් වුණාට පසු සියලූ ශ්‍රී ලාංකිකයන්ට සමාන අයිතියක් ඇති වන සේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිස්ථාපනය කර ශක්තිමත් කළා. ජනතාවට නැවතත් ඔවුන්ගේ අයිතිවාසිකම් හා නිදහස ලැබෙන බව තහවුරු කළා. මහජන වාද විවාදවලට දිරිදෙමින්, බියෙන් තොරව රජය විවේචනය කිරීමේ නිදහස මාධ්‍යවලට ලබාදුන්නා. අපි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කරා සමීප වන විට එහි මූලික කරුණු පාර්ලිමේන්තුව තුළ පමණක් නොව රට පුරා විවාදයට ලක්වේ යැයි බලාපොරොත්තු වෙනවා. මෙය සියල්ලන් එකතු කර ගත්, සියල්ලන්ම සම්බන්ධ ක්‍රියාවලියක්. ශ්‍රී ලංකාවේ සියලූ දෙනාටම වැඩදායක ව්‍යවස්ථාවක් ඇති කර ගැනීම සඳහා අපි විසින් ප්‍රතිෂ්ඨාපනය කර ගත් නිදහස ඉතා වැදගත්.

සියලූ දෙනාටම නිදහසේ මංමාවත්වල ගමන් කිරීමටත්, අපේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමටත්, පහසු මිලට මූලික ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමටත් පහසු වන වාතාවරණයක් ගොඩනැගීම සඳහා තවත් කළ යුතු බොහෝ දේ තිබෙනවා. ශ්‍රී ලංකා රජය විසින් පෞද්ගලික ආයෝජන වැඩි වූ, සාධාරණ, යුක්ති සහගත ආර්ථිකයක් ගොඩනංවනු ඇතැයි ජාත්‍යන්තර ප්‍රජාව තුළ විශ්වාසයක් තිබෙනවා. ශ්‍රී ලංකාව වඩාත් යහපත් අනාගතයකට යන මාවතට යොමු කළ හැක්කේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අපේ සැලසුම දැඩි සේ ක්‍රියාත්මක කිරීමෙන් පමණයි.

නව ව්‍යවස්ථාව අපේ ප්‍රගතියේ ඉතා වැදගත් අංගයක්. එය සමාජයේ සියලූ සාමාජිකයන් ගැන එකසේ සොයා බලන, ශිෂ්ඨ සමාජයක මූලධර්ම පදනම් කර ගත් එකක්. එය දුප්පත් හා විපතට පත්විය හැකි ජනතාවගේ අවශ්‍යතා සම්පාදනය සහතික කරන සමාජයක්. මේ රජය ශ්‍රී ලංකාවේ ජනතාව වඩාත් සවිබල ගන්වන ආකාරයේ ඉතා පැහැදිලි බලය බෙදීමක් ක්‍රියාත්මක කරවන බවට පොරොන්දු වී තිබෙනවා. එමගින් ජනතාවට තමන්ගේ ප්‍රජාව සම්බන්ධයෙන් වැඩි හඬක් නැඟීමේ හැකියාව ඇති වෙනවා. එමෙන්ම ජනතාවත්, රජයත් අතර සමීප බව තවත් වැඩි කරනවා.

අපේ රජය ඡන්දයෙන් පත් වුණේ මින් ඉදිරියට ශ්‍රී ලංකාවාසී ජනතාව කිසිසේත් සුළු පිරිසකගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත් වන්නට ඉඩ නොතැබීමේ පොරොන්දුව පිටයි. මින් පසු එවැනි සුළු පිරිසකට අපේ දරුවන්ගේ අනාගතය සොරා ගැනීමට ඉඩ ලැබෙන්නේ නැහැ. මින් ඉදිරියට අපේ ජීවිත හා පරිසරය බලකාමීන්ගේ කුරිරුකම්වලින් පීඩාවට පත්වන්නට ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ පදනම නව ව්‍යවස්ථාවට අන්තර්ගත වෙනවා. එය අප ආරක්‍ෂා කරන ව්‍යවස්ථාවක්. ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා අප කටයුතු කරන විට, ඉන් ලැබෙන සමෘද්ධිය සියල්ලන් අතර බෙදී යන බව තහවුරු කරන ව්‍යවස්ථාවක්. ඒ නිසා අප සියළු දෙනාගේම අදහස් එක් කොට, නව ව්‍යවස්ථාව සකස් කර, එක්සිත්ව හා එක්සත්ව වඩාත් දීප්තිමත් හා බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා ඉදිරියට පියවර තබමු.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29335,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ මූලික කරුණු සම්බන්ධයෙන් අගමැතිගෙන් ප්‍රකාශයක්
නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ මූලික කරුණු සම්බන්ධයෙන් අගමැතිගෙන් ප්‍රකාශයක්
http://ift.tt/2yoeUGV
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_799.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_799.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy