අහස ගුගුරුවා අකුණු පුපුරුවා ඒ මුවැත්තිය යන්නට ගියාය. පාසල් නිල ඇඳුමින් සැරසුණු ඇගේ නොඉඳුල් ගත, මෘගයන් විසින් කා දමනු ලදුව අවසානයේ හමුවූයේ...
අහස ගුගුරුවා අකුණු පුපුරුවා ඒ මුවැත්තිය යන්නට ගියාය. පාසල් නිල ඇඳුමින් සැරසුණු ඇගේ නොඉඳුල් ගත, මෘගයන් විසින් කා දමනු ලදුව අවසානයේ හමුවූයේ ලඳු කැලෑවකිනි. පුංකුඩතිව් පොළොවට දරාගත නොහැකි තරම් සුන්දරත්වයකින් යුතු වූ ඒ අසමාන වත කමල, මෘගයන් විසින් හප කර, කා දමා තිබිණි. කතා කරන්නට හැකි වුණා නම් ඇය මොනවා කියනු ඇත්ද?
දෑ අවුරුද්දකටත් අධික කාලයක් ඇදෙමින් ආ මහාධිකරණ නඩුව මේ අන්දමින්වත් අවසානයක් දුටුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසාය. එනිසා විද්‍යාගේ අම්මා මෙන්ම මේ පොළොව මත හුස්ම ගන්නා සියලු ජීවීන් ද යුක්තියේ නාමයෙන් එක තුති මල් මිටක් එම විමර්ශන මෙහෙයවූ සීඅයිඩී නිලධාරීන් ට පුද දිය යුතුම ය.
එසේ කියන්නේ වැදගත් හේතුවක් නිසා ය.
90 දශකයේදී දී ලංකාවේ ස්ත්‍රී දූෂණවලට එරෙහිව හඬ නැගූ සිවිල් අයිතිවාසිකම් සංවිධානවල එක් සටන් පාඨයක් මෙසේය
“අයියෝ නීතිපති - අයියෝ නීතිපති - මැරයෝ ඇවිත්-දැරියෝ දූෂණ කරති!’
එයින් දශක කිහිපයක් ගතවී ඇති වුව ද අද පවා, සක්වළටත් ඇසෙන්නට උදේ හවා බුදු බණ දෙසුවත් මේ සිරිලක ඒ තත්වයේ වැඩි වෙනසක් නැත. යාපනය පුංකුඩතිව් හි ජීවත් වූ 16 හැවිරිදි, පාසල් යන්නට ගෙයින් එළියට බැසි ශිවලෝගනාදන් විද්‍යා සිසුවිය දූෂණය වන්නේ මහ දවාලේ ය. අප ජීවත් වන්නේ අහස පොළොව නූසුළන අපරාධ, සාක්ෂි නැතිව මහ දවාලේ සිදුකරන රටක ය. නඩුත් හාමුදුරුවන්ගේ-බඩුත් හාමුදුරුවන්ගේ රටක ය. මහජන කැළඹිල්ලක් සිදු නොවුණා නම් මේ සිද්ධියේ අවසානයත් ඛේදාන්තයක් වන්නට ඉඩ තිබිණි. නමුත් වූයේ අනෙකකි.
සාමාන්‍යයෙන් අපරාධ නඩුවක් සිදුවූ විට වින්දිතයා වෙනුවෙන් පෙනී සිටින්නේ නීතිපති දෙපාර්තමේන්තුවයි. ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉතිහාසය, අපස්මාරය ඇතිකරවනසුලු ය. ලංකාවේ අධිකරණවල නීතිපති උපදෙස් නැතිව හමස් පෙට්ටියද දමන නඩු ගණන වසරකට සිය ගණනකි. අවම වශයෙන් නඩු ෆයිල් විසි තිස් දහසක්වත් මේ මොහොතේ ද නීතිපති උපදෙස් පතමින් ගොඩ ගැසී තිබේ. ලංකාවේ අපරාධ වරදකට අත්අඩංගුවට ගත් එකෙක්, නඩු විභාගය අවසානයේ වරදකරුම බම ඔප්පුවීමේ ප්‍රතිශතය හෙවත් අභිචෝදන ප්‍රතිශතය ද 10%ට අඩු ය. එනම් අත්අඩංගුවට ගන්නේ හෝ නඩුවට ඉදිරිපත් කරන්නේ ‘වැරදි එකෙක්’ වීමට ඇති ඉඩ 90%කට වඩා වැඩි ය. ඒකට මොකද, පොතේ හැටියට නම් නීතිපති යනු ලංකාවේ ප්‍රධාන අභිචෝදක ය. අපරාධයක් යනු හැමවිටම එය සමාජයට එරෙහිව සිදුවන වරදක් වන හෙයින්, වින්දිතයා වෙනුවෙන් පෙනී සිටින්නේ, චෝදනා විභාගයට ලක් කරන ක්‍රියාවලිය හෙවත් අභිචෝදන ක්‍රියාවලිය පටන් ගන්නේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ය. යුවාංජන මෙන්ඩිස් නීතිපති ව සිටි කාලය ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව වැඩිම සර්ව නාම ප්‍රමාණයක් අසා ගත්තේය. නමුත් විද්‍යා ඝාතන නඩුවේ විමර්ශනය යන්නේ සී අයිඩී ය අතට ය. අඩුම ගණනේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනයේදී සිදුවූ විප්‍රකාරය ට සමාන හෝ ළඟින් යන විප්‍රකාරයක් සිදුනොවන තැනට මේ සීඅයිඩී කණ්ඩායම මුලපටන්ම වග බලා ගනියි. එනිසා අප්පිරියා වන තරමට අප දැක පුරුදු ‘පොලිස් කෝලම’ වෙනුවට වගකිවයුතු විමර්ශන මෙහෙයවීමක් මෙහිදී දැකගන්නට ලැබෙයි. මේ අතර නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරන දප්පුල ද ලිවේරා රජයේ නීතීඥවරයා ප්‍රශංසනීය අයුරින් වින්දිතයාගේ අයිතිවාසිකම් රැක දෙමින් සටන් වදියි.
කවුරුන් මොනවා කීවත්, විද්‍යා නඩු තීන්දුව ‘සිද්ධියක්’ (an incident) නොව ‘සංසිද්ධියක්’ (a phenomenon) වන්නේ ඒ නිසාය. සිතා බලන්න. යාපනයේ දමිල යෞවනිය විද්‍යා ඝාතන සිද්ධියේ විමර්ශන කටයුතු කළේ සිංහල සී අයි ඩී නිලධාරීන් ය. සාක්ෂි මෙහෙයවූ රජයේ නීතීඥයා ද උපතින් සිංහල ය. විද්‍යා නමැති අහිංසක මුවැත්තියව රංචු ගැසී ස්ත්‍රී දූෂණ කළේ දමිල කණ්ඩායමකි. ප්‍රධාන සැකකරුට රැකවරණය ලබාදෙන්නට කැස කැවූ ළමා කටයුතු රාජ්‍ය ඇමතිනිය, දමිල ජාතික විජය කලා මහේෂ්වරන් ය. තමන්ගේ දියණියගේ වයසින් භාගයක්වත් නැති අසරණ විද්‍යා ගැන නොව, ස්විස් කුමාර් ගැන මාරම ඇම්මකින් කටයුතු කළ මහාචාර්යවරයා දමිල ජාතික තමිල්මාරන් ය. අවසානයේ විද්‍යාට යුක්තිය ඉටුවන තැනට පසුබිම සකසන්නේ ‘ජාතිවාදීන්ගේ බසින්’ පවසන්නේ නම් ‘තමන්ගේ ජාතියේ අය’ විසින් නොවේ. ‘අනුන්ගෙ ජාතියේ අය’ විසිනි.
2017 සැප්තැම්බර් 27 වැනිදා ලබාදුන් විද්‍යා ඝාතන නඩු තීන්දුව නූතන සංහිඳියාවේ අලුත්ම උදාහරණය වන්නේ ඒ නිසා ය. ජාතීන් වශයෙන් බෙදී වෙන් වී සිටිනා රටක් එක්තැන් කළ නඩු තීන්දුවකි, මේ. ‘මගේ ජාතිය-මනුස්ස ජාතිය’ යැයි මේ රටේ සියලු ජාතීන් එක හඬින් කියන දිනයක් ගැන තිතක හෝ බලාපොරොත්තුවක් තබාගත හැකි බවට සේයාවක් පෙන්වූ සංසිද්ධියකි, මේ.
1976 වසරේ සිදුවූ ක්‍රිෂාන්ති කුමාර්ස්වාමි දැරියගේ ඝාතනය සමග විද්‍යා ඝාතනය සසඳා බලමු. එදා හමුදා කඳවුර අසලදී පාසල් නිල ඇඳුමින් සැරසුණු ක්‍රිෂාන්ති කුමාරස්වාමි දැරිය සොයන්නට ගිය ඇගේ මව සහ පුංචි මල්ලී ද අද වන තෙක් නැවත ගෙදර ආවේ නැත. මේ තිරිසන් දේශයේ එදා ‘යුක්තිය ඉටුවනවා පමණක් නොව, ඉටුවන බව පෙනෙන්නට ද තිබිය යුතුය’ නමැති ස්වභාවික යුක්ති මූලධර්මය ඉටු වුණේ එහෙම ය.!! ක්‍රිෂාන්තිගේ පුංචි සිරුර චෙම්මිනි සමූහ මිනී වළේ සැතපෙන බව හෙළිවීම හැරුණු විට ඒ නඩුවේදී වැඩියමක් සිද්ධ වුණේ ද නැත. එවකට යාපනය ප්‍රදේශය භාර ආඥාපතිව සිටි කුප්‍රකට ජනරාල් තෙමේ අද වන තෙක් මේ ගැන වචනයක්වත් කියන්නේ ද නැත. කමක් නෑ ඉතිං.. රණවිරුවෙක් නොවැ!
දියුණු සහ ලිබරල් ප්‍රජාන්ත්‍රීය අවකාශයන් හි ‘නීතියේ ආධිපත්‍යය’, එසේත් නැතිනම් ‘නීතිය මත පාලනය’ (Rule of Law) කියා දෙයක් තිබේ. ඒ ගැන පැහැදිලි කරන විශිෂ්ටතමයා ලෙස සැලකෙන්නේ මහා බ්‍රිතාන්‍යයෙන් බිහි වු කීර්තිධරම විනිසුරුවරයෙකු වන ටොම් බිනැම් ය. Master of Rolls, එක්සත් රාජධානියේ සහ වේල්සයේ Lord of Chief Justice සහ එක්සත් රාජධානියේ Senior Law Lord යන පදවි දැරූ අතර, එකී පදවි ත්‍රිත්වයම හෙබවූ එකම තැනැත්තා මෙන්ම Knight of Garter තත්වයට උසස් වූ සහ එම ගෞරවය ලද ප්‍රථම වෘත්තීමය විනිසුරුවරයා වන ටොම් බිනැම් විසින් ලියන ලද ‘ද රූල් ඔෆ් ලෝ’ ග්‍රන්ථයට අනුව නීතියේ ආධිපත්‍යය යනු කුමක්ද යන්න වටහාගැනීම වටින්නේ, මේ නඩු තීන්දුව නීතියේ ආධිපත්‍යයේ ඡායා සහ සේයා පෙන්වන හෙයිනි.
නීතිය මත පාලනය ('the Rule of Law') යන යෙදුම ශබ්දකෝෂයට අමුතුවෙන් එබ්බවීමේ ගෞරවය හිමිවන්නේ 1885 දී “An Introduction to the Study of the Law of the Constitution” ග්‍රන්ථයට එම යෙදුම ඇතුළත් කළ ඔක්ස්ෆර්ඞ් සරසවියේ ඉංග්‍රීසි නීතිය පිළිබඳ මහාචාර්ය ඒ.වී. ඩයිසි හට ය. ඒ පිළිබඳ පදරුත් සිය ගණන් ඇති නමුත් ඉතා සරලව පවසන්නේ නම් නව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තුළ කිසිවෙක් නීතියට ඉහළින් නොසිටින අතර, සියල්ලෝම එකම අධිකරණ පද්ධතියක් මගින් පාලනය වන එකම නීතියට විෂය වෙති. නීතියේ ආධිපත්‍යය හෙවත් නීතිය මත පාලනය යනු එයම වන්නේය. ආචාර්ය තෝමස් ෆුලර් (1654-1734) විසින් මේ ගැන කියූ පරිදි, ‘ඔබ කිසිවිටෙක ඉතා ඉහළ නොවේ, මන්ද යත්නීතිය ඔබට ඉහළිනි.” මේ බව උපුටා දක්වන ටොම් බිනැම් විනිසුරුවරයා සිය ග්‍රන්ථ මාණික්‍යයේදී අගනා උපහැරණයක් දක්වයි. “ඔබ ලන්ඩන් සත්තුවත්තේ සිටින පෙන්ග්වින් සතෙකුට හිංසා කළොත්, ඔබ කැන්ටබරියේ අගරදගුරු වුවත් නඩු පැවරීමෙන් පළා යාමට ඔබට නොහැකිය. තවද ඔබ අග්‍රාමාත්‍යවරයා වුවත්-ඔබ සතු සියලු නම්බු නාම මුදල් කළත් එයින් ඔබට ගැළවීමක් නැත.”
ලංකාවේ මේ තාක් කාලයකට නොතිබුණේ ද ඉදිරියටත් නැත්තේ ද මේ ටික ය. සත්තුවත්තේ පෙන්ග්වින් සතෙකුට හිංසා කිරීම කෙසේ වෙතත්, ලංකාව වනාහී, සමෘද්ධි නියාමක ගස් බඳින ලද ඇමතිවරයා පවා තවමත් නිදුකින් වෙසෙන රටකි. ඒ සිද්ධිය රටේ සියලු රූපවාහිනී මාධ්‍ය විසින් වීඩියෝ සාක්ෂි ලෙසින් විකාශය කර තිබියදී පවා “නෑ නෑ ඒ උත්තමය මට එහෙම කළේ නෑ, මමමයි මාව ගස් බැඳ ගත්තේ.. ” යැයි විලම්බීත කතාවක් කියන තත්වයට සමෘද්ධි නියාමකව පත් කළ රටකි. අප ජීවත් වන්නේ, පසුකලෙක ඔහු අරාබි රටකට පළා යන තෙක්ම ලෝකය ඉදිරියේ තමන්ට ඇත්තටම සිදුවූ දේ කියන්නට නොහැකි වන තරම් ධවල භීෂණයකින් පුරවැසියන්ගේ කොඳු කඩා දමා තිබූ රටක ය.
ශ්‍රේෂ්ඨ ඉංග්‍රීසි දාර්ශනික ජෝන් ලොක් 1960 දී මෙසේ කීවේය. ‘නීතිය අවසන් වන්නේ කොතැනින්ද, එතැනින් ප්‍රජාපීඩනය පටන් ගනියි’. 1776 දී ටොම් පෙයින් මෙසේ කීවේය. “පරමාධිකාරී ආණ්ඩුවකදී නීතිය රජු වේ. එනිසා නිදහස් රටවල නීතිය මිස අන් දෙයක් රජ නොවිය යුතුය.” මේ අතර අදටද නීතියේ ආධිපත්‍යයේ විෂය පථය තුළ සුරැකි මාණික්‍යයක් සේ සැලකෙන, 1671 සිට 1676 වසර දක්වා රාජාධිකරණයේ ප්‍රධාන විනිසුරු වූ ශ්‍රීමත් මැතිව් හේල් විසින් ප්‍රකාශයට පත් කළ “දිගින් දිගටම සිහිතබාගත යුතු වැදගත් දේවල්’ පිළිබඳ සුප්‍රසිද්ධ ලැයිස්තුව ඔබ දන්නවාද? එහි තිබෙන්නේ විනිසුරුවරයෙකු වශයෙන් තමන්ගේ හැසිරීමට අදාළව ඔහු විසින් තනාගත් රීති හෝ යෝජනා මාලාවකි. එහි 15 වැනි රීතිය වන්නේ “සාපරාධී බව රුධිරගතව තිබෙන අපරාධකරුවන්ට දැඩි දඬුවම් ලබාදිය යුතුය’ යන්නයි. 16 වන රීතිය වන්නේ “සියලු පුද්ගලික ඇවිටිලි, ආයාචනයන්, ඒවා කුමන ස්වභාවයේ ඒවා වුවත් සහ කවුරුන් සම්බන්ධ ගැටලු නිසා හටගෙන තිබුණත් ඒවා නොතකා කටයුතු කිරීම” යන්නයි.
විනිසුරුවරුන් නීතියේ ආධිපත්‍යයේ වැදගත් රැකවලුන් ය. මේ විද්‍යා ඝාතන නඩුව අතරවාරයේ නල්ලූර් කෝවිල අසල වෙඩි කා අනූනවයෙන් මරණයෙන් බේරුණු ඉලන්චේලියන්, සිය විනිසුරු මඬුල්ල ද සමග සාපරාධී බව රුධිරගතව තිබූ අපරාධකරුවන් මනාව හඳුනාගනියි. අන්‍යස්ථානික භාවය ඔප්පු කිරීමට දත කමින් සිටි හෙවත්, විද්‍යාගේ ඝාතනය සිදුවන විට අහලකවත් නොසිටි හා වැල්ලවත්තේ ලැගුම්හලක සිටි බවට රිසිට්පත් පවා සූදානම් කරගෙන සිටි මහමොළකරු හෙවත් පළමු චූදිත ස්විස් කුමාර් ට ද මරණ දඬුවම හිමිවන්නේ මෙනිසා ය.
මේ සිද්ධියට ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලාගේ සෘජු සම්බන්ධයක් තිබූ බව ද නඩුතීන්දුවේ සඳහන් වේ. නමුත් ඔවුන්ට දඬුවම් නැත. ස්විස් කුමාර් ව කොළඹට පන්නාගෙන ආ හෙවත් නඩුවේ ප්‍රධාන සැකකරුට පළා යාමට උපකාර කළ බවට චෝදනා ලබා සිටි ලලිත් ජයසිංහ යනු නිකම්ම නිකම් පොලිස් කොස්තාපල් කෙනෙක් නොව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. ඇප ලබාදීමේ කොන්දේසි සලකා බලමින් යාපනය කයිට්ස් මහේස්ත්‍රාත්වරයා විසින් ලක්ෂ 3 ක මුදල් ඇපයක් මත ඔහුව මේ වන විට නැවත මුදාහැර ඇති අතර, දෙසැම්බර් 5 වැනිදා වන තෙක් ජයසිංහට මේ සම්බන්ධයෙන් නඩු නැත.
පොලිස් කොළඹ නීති පීඨයේ හිටපු පීඨාධිපති සහ නීති මහාචාර්ය තමිල්මාරන් ගැන ද කිව යුත්තේ එයම ය. ඔහු මේ සිද්ධියේ ඉතා වැදගත් වූ මහ පොදු සාධකයක් බව නැවත නැවතත් සාක්ෂි විමසීම්වලදී ඔප්පු වී තිබුණත් අඩුම වශයෙන් මේ දක්වා එකම එක අවස්ථාවකදීවත් ඔහුව අත්අඩංගුවට පවා ගැනුණේ නැත. ඉතින් මේ පිළිකුල් සහගත නීච පරිචයන් නිමා වන්නේ කවදාද?
අනෙක් අතට දැන් ඉතින් චූදිතයන් වරදකරුවන් බව ඔප්පු වී හත්දෙනෙකුට මරණ දඬුවම් නියම වූ නිසා දැන් අපිට හරිම සන්තෝසද? අනෙක් දෙදෙනා ද අහිංසක දැරිය කෙළසීමට භෞතිකව දායක වී සිටියත්, ඔවුන් රජයේ සාක්ෂිකරුවන් වී මේ නඩුව පවත්වාගෙන යාමට අමිල මෙහෙයක් කළ නිසා ඔවුන්ට දඩ මුදල් පමණක් නියම වුණාට කමක් නැතැයි ඔබ සිතනවාද? අනෙක, හත් දෙනා අභියාචනය නොකරාවි යැයි ඔබ සිතනවාද? ‘හත්දෙනාම පෝරකයට’ යැයි ශීර්ෂ පාඨ ලියැවුණු විට යුක්තිය ඉටුවනවා යැයි ඔබ සිතනවාද?
නැත. සිත රවටා නොගන්න. මේ ලංකාවයි.!!
1976 වසරෙන් පසු ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක වන්නේ නැත. ඒ නිසා කොතරම් බිහිසුණු අපරාධයක් සිදුකර පෝරකයට නියම වුවත්” එය ස්වයංක්‍රීයව ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් බවට පත්වේ. එසේ සිර දඬුවම් විඳින අය ලංකාවේ 1116 දෙනෙක් පමණ සිටිති. එනිසා අර හත්දෙනා පෝරකයට ගියා නොව, හිරේ ගියා පමණක් යැයි සිතීම සාධාරණ ය. නමුත් ඒ හිරේ ගියේ ජීවිතාන්තය දක්වාම යැයි ද, නැවත ඒමක් නැතැයි ද සහතික විය හැක්කේ කාටද? සමහරවිට පෝය දවසක හෝ නිදහස් දිනය දාට ඔවුන් ජනාධිපති සමාවක් ලබා එළියට එන්නට බැරි කමක් නැත. එසේත් නැතිනම් යහපත් කල් ක්‍රියාවෙන් වැඩ වාසය කළා යැයි ඉහළ පෙළේ දේශපාලන අනුමැතියක් ලබා ලබන සතියේ විතර ගෙදර යන්නට ද බැරි කමක් නැත. පසුගිය රජයක ප්‍රබල ඇමතිවරයෙකුගේ භාර්යාවක් මිනීමැරුම් චෝදනාවෙන් වරදකරු වී හිරේ ද ගිය පසු ජනාධිපති සමාව ලබා මාස කිහිපයකින් ගෙදර ගිය අන්දම අපට අමතක නැත. ඉතින් මේ ලංකාවයි!! මේ ලංකාවේ කිව හැකි එකම නියත දෙය, ඕනෑම මොහොතක ඕනෑම දෙයක් සිද්ධ විය හැකි බවයි.
මරණ දඬුවම, ශිෂ්ට සම්පන්න ලෝකය අනුදකින්නේ නැත. අපිදු එය පිළිගනිමු. අපරාධ නීතියෙන් හැමවිටම ඉල්ලා සිටින්නේ ලෙයට ලෙයයි. දතට දතයි. එයද අපි පිළිගනිමු. එනිසා කළ යුත්තේ ස්විස්කුමාර්ලා බිහිනොවන සමාජයක් බිහිකර ගැනීම මිස, ස්විස්කුමාර්ලා බිහිවන බිහිවන වාරයක් පාසා ඔවුන් එල්ලා මැරීම නොවන බව අපිදු පිළිගනිමු. නමුත් අපරාධ නීතියේ මූලිකම සිද්ධාන්තය කිසිවිටෙක අමතක නොකරන්න. දඬුවම අපරාධයට සමානුපාතික නම්, අපරාධකරුවා දඬුවමක් වින්දාට කමක් නැත්තේ, කළ වරදට ඒකා පසුතැවිලි විය යුතුම නිසා ය. විඳවීමක් තිබිය යුතුම නිසා ය. සමාජයට එයින් ආදර්ශයක් තිබිය යුතු නිසා ය. ඒ දඬුවම දැක සමාජය බිය විය යුතු නිසා ය. නමුත් ලංකාවේ එය එසේ සිදුවේද?
අපේ අයියලා හිරේ යන්නේ හුරේ දමමිනි. බන්ධනාගාර බසයට ගොඩවන්නේ හිනා කටෙනි. බරපතළ වැඩ ඇතිව හිරේ යන අය බව කියා බරපතළ සැප ඇතිව හිරේ සිටින අයියලා නිසා රටේ බදු ගෙවන ජනතාවට නම් බොහෝ බරපතළෙට වැඩ කරන්නට සිදු වී තිබේ.
එනිසා විද්‍යා ඝාතන නඩු තීන්දුව ලංකාවේ නීතියේ ආධිපත්‍යය පිළිබඳ බෙන්ච්මාක් එකක් බව ඇත්තය. සන්ධිස්ථානයක් බව ඇත්තය. කාව්‍යමය බසින් පවසන්නේ නම් එය වනාහී පතොක් මල් පූදිමින් වියළි කතරට ඇද හැළුණු පිණි පොදකි. නමුත් මේ මහා අපරාධයට හවුල් වූ අපසාහයකයන් තවම එළියේ නිදැල්ලේ ය. ‘නෙට්වර්ක් එක’ තවමත් සක්‍රිය ය. ඉතින් වැඩිකල් නොගොස්ම” නීතියට පිටින් සිටින ‘මහ එකාලා සහ මහඑකීලා’ නැවතත් අයුක්තියේ මන්තරය මතුරන්නට පටන් ගන්නවා ඇත. එවිට කතර යළි ගිනියම් වනු ඇත. පුංචි වැලි කැට අතර සැඟවුණු පිණි බිංදු වේළී මැරෙනු ඇත. ‘යුක්තියෙ දෙවඟන’ ලැජ්ජාභරිතව යළිදු බිම බලාගනු ඇත. නිද්‍රාශීලී වනු ඇත.
එනිසා අවම වශයෙන්..., 'ඔබ' අවදියෙන් සිටින්න. අපිදු අවදියෙනි.
- ක්‍රිෂාන්ති රාජපක්ෂ
COMMENTS