වැලිගම මැතිවරණ කොට්ඨාසයේ පේරගස්වත්ත මේ එක් අයෙක්ගේ නිවහන වීය. අනෙකා එළුවාවිල නම් සුන්දර ගම් පියසේ ය. එක් අයෙක් අනිල්, අනෙකා නිමල්. දෙද...
වැලිගම මැතිවරණ කොට්ඨාසයේ පේරගස්වත්ත මේ එක් අයෙක්ගේ නිවහන වීය. අනෙකා එළුවාවිල නම් සුන්දර ගම් පියසේ ය. එක් අයෙක් අනිල්, අනෙකා නිමල්. දෙදෙනාම ඉතා සුන්දර නව යොවුන් තරුණයන්ව සිටියා මතකය. දකින හැම විටෙකම මේ දෙදෙනාගේ මුව සිනහවක සේයා ඇඳී තිබුණි. නිතරම විහිළුවෙන් සිනහවෙන් සිටියෝ වූහ. එක් අයෙක් එවක යම් ආදායම් මාර්ගයක් වූ ස්ක්‍රීන් ප්‍රින්ටින් වැඩපලක් පවත්වාගෙන ගිය අතර, අනෙකා කැටයම් හා මූර්ති ශිල්පයෙන් යම් ආදායමක් උපයා ගත්තේ ය. මේ එක් අයෙක්ගේ මවුපිය දෙදෙනා ම ගුරුවරුන් වූ හ. අනිල්ගේ පියා විදුලි කාර්මිකයෙක් වීය.
1989 අද වැනි දිනෙක රාත්‍රියේ ඔවුන් සිටි තැන හරියට ම දැනගත් හමුදා කණ්ඩායමක් ඔවුන් දෙදෙනා ම පැහැරගෙන ගියේ ය. වැලිගම, පොල්අතුමෝදර දෙනිපිටිය මාර්ගයේ නිවසක උඩුමහලේ නිදා සිටිය දී, ඔවුන් රැගෙන ගියේ වැලිගම කප්පරතොට මුහුදු වෙරළට නුදුරුව සංචාරක හෝටලයක පවත්වාගෙන ගිය හමුදා කඳවුරට ය. මේ සංචාරක හෝටලයේ හිමිකරු වූයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලකයෙකි.
මොවුන් දෙදෙනා සේ ම තවත් තරුණ තරුණියන් සියයකට ආසන්න පිරිසක් මේ කඳවුරේ රඳවා සිටියේ ය. රැගෙන ගිය මොහොතේ පටන් දින දෙකක් යනතුරු මේ තරුණයන් දෙදෙනාද අන් අය සේ ම වධයට ලක් කෙරුණි. ඉතා කෙසඟ සිරුරු හිමිව සිටි මොවුන්, දෙවන දින වන විට වැසිකිළි යාමට නැගිටගැනීමට පවා නොහැකිවන තරම් වධයට ලක්ව සිටියෝ ය. කොතෙක් ප්‍රශ්න කළ ද මොවුන් දෙදෙනාම කිසිවෙකුත් පාවා නො දීමට අදිටන් කරගෙන තිබුණි. එදා ඒ මොහොතේ ඔවුන් එසේ කළානම් අද මමත් ජීවතුන් අතර නැත.
මොවුන් දෙදෙනා ම නිරුවත්කොට ගුද මාර්ගයේ පීවීසී බට යවා ගුදමාර්ගයෙන් කම්බියක් යවා තිබූ අතර, විටින් විට ඒවා ඉවතට ගනිමින් හෝස් බටවලින් පහරදුන්බව මසැසින්දුටුවෝ පැවැසූ හ. අත්අඩංගුවටපත්ව, දෙවන දින රාත්‍රිය වනවිට මොවුන් හුස්ම වැටීමපමණක් සිදුවූ, ප්‍රාණය ශරීරයේ එක් තැනට පමණක් සීමාවී තිබුණෝ වූ හ.
එය ඔවුන් අවසන්වරට කඳවුර තුල සිටි රාත්‍රිය වී තිබුණි.1989 සැප්තැම්බර් 24 වන දින මධ්‍යම රාත්‍රියේ දී යළිත් එළිමහනට ගත් මොවුන් දෙදෙනාගෙන් අනිල් ගේ හුස්ම පමණක් වැටෙමින් තිබී ඇති අතර යම් පමණකට ප්‍රාණය ඇතිබවක් හොඳින් දිස්වී ඇත්තේ නිමල්ගේ පමණි.
මේ නිමල් වෙත ගිය එක් හමුදා භටයෙක් තමන් පානය කරමින් සිටි කොකාකෝලා බෝතලයේ මුව, නිමල්ගේ අධෝ මුඛයට තබා තද කළේය. නිරුවත් කැර ශරීරය ඉඟටියෙන් දෙකට නැමෙනසේ බිම හොවා සිටි නිමල් හීනියට කෙඳිරි ගෑවේය. වෙනකෙක් පැමිණ කොකාකෝලා බෝතලය ශරීරය තුලට යවන අටියෙන් අත වූ ලී කොටයකින් තඩි බෑවේ ය. බෝතලයේ එක් වීදුරු කැබැල්ලක් හෝ මිහිමත පතිත නො වී ය. නිමල්ගේ මුවින් ගොජ ගොජ යන හඬින් සෙම වැනි යමක් පිටවූ බව, අදටත් ජීවත්වන්නට වාසනාව ලද, ඒදවස එහි රඳවා සිටියෙක් මා සමඟ පැවැසීය.
25 වන දින පාන්දර යාමයේ සිට සහන් එළිය වැටෙනවිට මේ දෙදෙනාගේ සිරුරු දෙණිපිටිය ඓතිහාසික නුගරුකට (ගජමන් නෝනාගේ කවි පන්තියකට වස්තු වූ නුගරුක) නුදුරුව ටයර් සෑයේ දැවෙමින් තිබුණි.
සත්‍ය වශයෙන්ම මේ අප අමතකකර දමන්නට සැලැස්වූ අතීතයෙන් බිඳකි. එමෙන්ම වත්මන් බොහෝ දෙනෙක් නොදන්නා අතීතයෙන් බිඳකි. මේ හැර මා අත්විඳි මේහා සමානම මතක සටහන් අපමණකි. 1977 සිට සක්‍රීය දේශපාලන ඉතිහාසයක සජීවී අද්දැකීම් අපමණය.
අද මා ඔබට කී සත්‍ය කතාවේ නිමල් සහ අනිල් යන ඔවුන් ඒ මොහොතේ කොතෙක් නම් වේදනා දරන්නට ඇද්ද ? අපත් ඒ වේදනාවන්ගේ පංගුකාරයන් නොවේ ද ?
මේ ඇතැම් සිදුවීම් ස්මරණයේ දී මා වටා සුසුම් රැළි මටම නො දැනී - දැනී හමා යනු මට හැඟේ. මට අද ඇත්තේ ඒ අතීතය පිළිබඳ දැඩි පශ්චාත්තාපයකැයි නොවලහා පවසමි.
ඒ පශ්චාත්තාපය හඳුනාගැනීමට සංවේදී සිත් ඇති ඔබට නොහැකියාවක් නැතැයි මම සිතමි.
අදට එපමණකි.
ජනිත් විපුලගුණ
COMMENTS