බදු දීමක් යනු විකිණීමක් නො වේ. දිගු කාලීන බදු දීම් යනු එතරම් වාසිදායක ගනුදෙනුවක් නො වන බව ඇත්තකි. එහෙත්, හම්බන්තොට අලුතෙන් වරාය ව්‍යාපාරය...
බදු දීමක් යනු විකිණීමක් නො වේ. දිගු කාලීන බදු දීම් යනු එතරම් වාසිදායක ගනුදෙනුවක් නො වන බව ඇත්තකි. එහෙත්, හම්බන්තොට අලුතෙන් වරාය ව්‍යාපාරයක් ගොඩනැගීමේ ධාරිතාව ශ්‍රී ලංකා වරාය අධිකාරියට හෝ වෙනත් ව්‍යවසායකයකුට නැත. එසේ නම්, කළ යුතුව තිබෙන්නේ එය කළ හැකි ව්‍යවසායකයකුට බදු දීමයි. එවැනි බදු ගිවිසුම්වලදී ව්‍යවසායකයාට පාඩු සිදු වන, බදු දෙන්නාට අසීමිත වාසි සිදු වන ගනුදෙනු සිදු වන්නේ නැති බව තේරුම් ගන්නට සරල ව්‍යාපාර ඥානයක් තිබීම ප්‍රමාණවත් ය.
ගත් ණය ගෙව ගෙවා ජාතිය වෙනුවෙන් වේලෙන වරායක් සේ හම්බන්තොට රැක ගන්නවා වෙනුවට, යම් වෙනසක් සිදු කර, එන ගැටලුවලට මුහුණ දෙමින් ඉදිරියට යාම ඉතා ඉදිරිගාමී පියවරකි. ආණ්ඩුවට ඒ සඳහා තිබෙන එඩිතරකම අගය කළ යුතු ය. ඉදිරියේදී මතු වන අභියෝගවලට සුබවාදීව මුහුණ දීමට අපි රජයට දිරි දිය යුතු ය.
හම්බන්තොට වරාය සංවර්ධනය වන්නේ නම්, ඒ ආශ්‍රිතව සිදු වන තවත් සංවර්ධනයන් රැසක ප්‍රතිඵල ඒ ප්‍රදේශයේ ජීවත් වන ජනතාවටත්, පොදුවේ සමස්ත ලාංකිකයන්ටත් අත්පත් කර ගත හැකි වනු ඇත. ඒවා මේ ගනුදෙනුවට ඍජුව අදාළ නැත.
මේවාට විරුද්ධ වන පිරිස් අතරින් බලයට පැමිණ රට පාලනය කිරීමේ උවමනාවක් හෝ තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂයට පමණි. ඔවුන්ට තිබෙන මූලික ගැටලුව දූෂණයේ උල්පත් අහිමි වීම හා පෙර වැරදිවලට එරෙහිව ඇති නඩුවලින් කෙසේ ගැලවෙන්නේ ද යන්නයි. ඔවුන් බලයට පැමිණි විට හම්බන්තොට වරාය යළි රජයට පවරා ගන්නා බව කියයි.
එවැනි මරිමෝඩකම් කිරීමේ ඉතිහාසයක් ඔවුන්ට තිබේ. ව්‍යවසායකයකු යටතේ හොඳින් පවත්වාගෙන ගිය ශ්‍රීලංකන් ගුවන් සේවය රජයට පවරා ගැනීම එවැනි එක් පළමු පන්තියේ මුග්ධකමකි. පසුගිය වසරේ ශ්‍රීලංකන් පාඩුව රු. බිලියන 6.5ක් විය.
එවැනි හිතුවක්කාර මෝඩයන් පිරිසක් නැවත බලයට පත් කර නො ගත යුත්තේ ඇයි ද යන්න පැහැදිලි ය. අප විසින් කළ යුතුව තිබෙන්නේ 2020 දක්වා බලයේ සිටීමට ජනවරමක් ඇති ආණ්ඩුව හරහා වඩා හොඳ තත්වයක් නිර්මානය කර ගන්නට උත්සාහ කිරීමයි.
වාමාංශිකයන්ගේ උද්ඝෝෂණ නරක ම නැත. ආණ්ඩුව තුලනය කිරීම සඳහා විරෝධයක් අවශ්‍ය ය. එහෙත්, විප්ලවීය ෆැන්ටසි හරහා කඩාකප්පල්කාරිත්වයටත්, තරුණ පරපුරෙන් කොටසක් බිලි දීමටත් ඔවුන්ට ඉඩ නො දිය යුතු ය. වාමාංශිකයන් ඉච්ඡා භංගත්වයට පත් නො කර, ඔවුන්ට කාලා ඇඳලා, විරෝධයක් දක්වාගෙන, ව්‍යාපෘතියක් කරගෙන, මහජන නියෝජිත ආසන කීපයක් ද හිමි කරගෙන, මීඩියා රංගනයක් කරගෙන, ඔවුන්ගේ කැලැන්ඩර්වල තිබෙන අභිචාර ටික පවත්වා ගනිමින් සිටින්නට ඉඩකඩ සලස්වා දිය යුතු ය.
හම්බන්තොට වරාය 2011 වසරේ සිට මේ දක්වා රු. බිලියන 47ක් පාඩු ලබා තිබේ. ඒ වෙනුවෙන් ලබා ගත් ණය හා පොළී ගෙවීමට පමණක් වසරකට රු. බිලියන 9.1ක් වෙන් කළ යුතු ය. මේ වනාහි මහජන මුදල් ය. ජනතාවට වඩා යහපත් ජීවිතයක් ගත කිරීමට තිබෙන සල්ලි ය.
හම්බන්තොට තිබෙන අන්දමින් තබා ගැනීම කොයි තරම් දේශද්‍රෝහී, ජනතා ද්‍රෝහී ක්‍රියාවක් ද යන්න දැන්වත් පැහැදිලි වනු ඇත.
මත්තල ගුවන් තොටුපළ අනෙකයි. රු. බිලියන 38.5ක් වැය කර හදන ලද මේ ගුවන් තොටුපළට පියාඹන්නේ මැස්සන් ය. එහි මාසික ආදායම දැනට රු. ලක්ෂ 30-40 අතර වේ. වියදම මසකට රු. ලක්ෂ 250කට අධික ය. මෙය හැදීමට ගත් ණය හා පොළී වෙනුවෙන් වාර්ෂිකව රු. බිලියන 3.6ක් වැය වේ. එනම් මාසිකව රු.ලක්ෂ 3000ක් වෙන් කළ යුතු ය.
මාසිකව රු. ලක්ෂ 30ක ආදායමක් හා රු. ලක්ෂ 3250ක වියදමක් ඇති බිස්නස් එකක් ගැන හිතන්න. පිස්සු හැදෙනවා නේ ද?
මීළඟට මත්තල ය. දේශද්‍රෝහීනි, විකුණනවා ය කියන මන්තරය සහිත සටන් පාඨ ලෑස්ති කර ගනූ!
COMMENTS