ත්‍රිකුණාමලය නාවික කඳවුර තුළ තමාගේ අනුදැනුම ඇතිව බන්ධනාගාරයක් පවත්වාගෙන ගිය බවට හා එහිදී තරුණයන් මරා දමන ලද බවට පොලිසියට කර ඇති අසත්‍ය වූ...
ත්‍රිකුණාමලය නාවික කඳවුර තුළ තමාගේ අනුදැනුම ඇතිව බන්ධනාගාරයක් පවත්වාගෙන ගිය බවට හා එහිදී තරුණයන් මරා දමන ලද බවට පොලිසියට කර ඇති අසත්‍ය වූත් ද්වේශ සහගත වූත් ප්‍රකාශ මඟින් වත්මන් නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා තම චරිතයටත් තම කීර්තිනාමයටත් තම නිල අභිමානයටත් සිදුකර ඇති පිරිමැසිය නොහැකි හානියට වන්දියක් වශයෙන් රුපියල් මිලියන 500ක මුදලක් දින 14ක් ඇතුළත ගෙවන ලෙස ඉල්ලමින් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් එන්තරවාසියක් යවා ඇත.
වත්මන් නාවික හමුදාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා වෙත සිය නීතිඥ වසන්ත විජේවර්ධන, ලසන්ත විජේවර්ධන හා අනුෂා විජේවර්ධන සහ නීතිඥ මණ්ඩලය මඟින් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මෙම එන්තරවාසිය යවා ඇත.
නාවික හමුදාපති ධුරයට පත්වීමට ආසන්නව තිබියදී ඉකුත් ජූලි මස මැද භාගයේදී සින්නයියා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉහත අසත්‍ය වූත් ද්වේශ සහගත වූත් ප්‍රකාශය සිදුකොට ඇති බවද හිටපු නාවික හමුදාපති වසන්ත කුමාර ජයදේව කරන්නාගොඩ සඳහන් කොට ඇත.
ත්‍රිකුණාමල නාවික කඳවුරු පරිශ්‍රයේ වෙඩි භූමි අංක 1 හා 2 හි පිහිටුවන ලද රැඳවුම් කඳවුරක් හා වධ කඳවුරක්ද තිබූ බවත් එය එවකට නාවික හමුදාපති වූ තමාගේ අනුදැනුම මත පවත්වාගෙන ගිය බවටත් එහිදී තරුණයන් ඝාතනය කිරීම්ද සිදුවූ බවටත් ඒ සියල්ලක් අනෙකුත් නිලධාරීන්ගේ අනුදැනුමකින් තොරව රහසිගතව පවත්වාගෙන ගිය බවටත් සින්නයියා විසින් ද්වේෂ සහගත ලෙස අසත්‍ය ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ නිලධාරීන්ට සිදුකොට ඇති බවද හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ තවදුරටත් එම එන්තරවාසිය මඟින් ප්‍රකාශ කොට ඇත.
දින 14ක් ඇතුළත තමන් ඉල්ලා සිටිනු ලබන රුපියල් කෝටි 50ක වන්දි මුදල ලබා නොදෙන්නේ නම් එම මුදල අපහාස වන්දියක් ලෙස අය කර ගැනීම සඳහා දිසා අධිකරණය හමුවේ නඩු පැවරීමට තම නීතිඥ මණ්ඩලයට උපදෙස් දෙන ලද බවද ඔහු වැඩිදුරටත් එමඟින් ප්‍රකාශ කර සිටී.
COMMENTS