ස්විස් කුමාර් නමැත්තා පුංකුඩුතිව් ප්‍රදේශයේ ජනතාව විසින් කොටුකරගෙන සිටියදී ඔහුව මුදවාගෙන පලා යාමට උපකාර කිරීම සම්බන්ධයෙන් විජයකලා ඇමතිවරි...
ස්විස් කුමාර් නමැත්තා පුංකුඩුතිව් ප්‍රදේශයේ ජනතාව විසින් කොටුකරගෙන සිටියදී ඔහුව මුදවාගෙන පලා යාමට උපකාර කිරීම සම්බන්ධයෙන් විජයකලා ඇමතිවරියට චෝදනා එල්ල වී තිබුණු අතර මේ පිළිබඳව ජනාධිපති නීතීඥ කාලිංහ ඉන්ද්‍රතිස්ස මහතා විසින් අධිකරණය ඉදිරියේ කරුණු හෙළිදරව් කිරීමෙන් අනතුරුව ඇයගෙන් ප්‍රශ්න කරන මෙන් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබිණි. ඒ අනුව පසුගිය ජුලි 31 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ඇයට දැනුම් දී තිබුණ ද ඇය එදින එම නිවේදනය තමන්ට නොලැබුණු බවට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරමින් විමර්ශන කටයුතු සඳහා සහභාගී වීම මඟහැර සිටියාය. පසුගිය සතිය පුරාවට ම ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් තිබුණේ නැත.
කෙසේ වෙතත් ළමා කටයුතු අමාත්‍යවරිය මේ පිළිබඳව තම හිතවතුන් සමඟ පවසා ඇත්තේ "මං මේ ගැන අගමැති තුමාටයි, සාගලටයි කියලා තියෙන්නේ. සාගල කිව්වා බය වෙන්න දෙයක් නෑ කියලා" යනුවෙනි. මෙම ප්‍රකාශය සත්‍යයක් නම් රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට අකුල් හෙළීම සඳහා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ම මැදිහත්වීම අතිශයින් ම නින්දිත කරුණක් බව නැවත කිව යුතු නොවේ. එසේම පාසැල් දැරියක්ව පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක්කොට කෲර ලෙස වධහිංසා පමුණුවා ඝාතනය කිරීමේ අපරාධයෙහි මහමොළකරුවා බේරාගැනීම සඳහා ඉදිරිපත් වී ඇත්තේ ද රටේ ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිනිය ය. එවන් ඇමතිනියක් තව දුරටත් රටේ ළමා කටයුතු භාරව සිටීම සහ ඇය නීතිය ඉදිරියට කැඳවීමේ ක්‍රියාවලියට රටේ නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයා බාධා කරන්නේ නම් එය 'යහපාලන' මූලධර්ම වලට අනුකූල වන්නේ කෙසේදැයි රටේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළ යුතුව ඇත.
කෙසේ වෙතත් විජයකලා ඇමතිවරියගෙන් ප්‍රශ්න කිරීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද දක්වන මන්දෝත්සාහී ස්වභාවයෙන් පෙන්නුම් කෙරෙන්නේ විෂයභාර අමාත්‍ය සාගල රත්නායකගේ බලපෑමක් මේ සම්බන්ධයෙන් ඇති බව නොවේද ?
COMMENTS