අහලබාද් හි බම්රාවුලි ගුවන්තොටුපොළ අසල පිහිටා ඇති මේ ගමට යන හැම කෙනෙකුටම හිසේ තෝන්තු ගතියක් ඇති වේ. එකම රූපකායක් ඇති දෙදෙනෙකුවත් මෙහිදී...
අහලබාද් හි බම්රාවුලි ගුවන්තොටුපොළ අසල පිහිටා ඇති මේ ගමට යන හැම කෙනෙකුටම හිසේ තෝන්තු ගතියක් ඇති වේ. එකම රූපකායක් ඇති දෙදෙනෙකුවත් මෙහිදී හමුවීම මෙයට හේතුවයි. ගම විශාල නැත. ජනගහනය 700 දෙනෙක් පමණි. නමුත් ඒ 700 දෙනා අතර නිවුන් ජෝඩු 35 ක් වෙති. එය ප්‍රතිශතයක් වශයෙන් ගත් කල සියයට 6 කි. එනම් 1000 කට 60 කි. ලෝකයම සැලකුවහොත් මෙහි ඇති අසාමාන්‍යතාවය ඔබට වැටහෙනු ඇත. ලෝකයේ නිවුන් දරු උපත්වල සාමාන්‍යය දරු උපත් 1000 කට නිවුන් දරු උපත් 9 සිට 12 අතර ප්‍රමාණයකි. එනම් සියයට 0.9-1.2 අතර ය. මේ අනුව මේ පුංචි ගම, එමෙන් අවම තරමින් පස් ගුණයක වේගයෙන් නිවුන් දරුවන් බිහි කරමින් සිටියි.
ඒ අතර සිටින වයස්ගතම දෙසොහොයුරන් වන්නේ මොහොමඩ් හසන් සහ මො
හොමඩ් රෙහාන් ය. ඔවුන් දෙදෙනාම දැන් මැදිවිය ඉක්වමින් සිටින්නෝය. මේ නිවුන් සංසිද්ධිය කෙසේ සිදුවන්නේ ද යන්න ගැන ඔවුන්ට අදහසක් නැත. “නගරයෙන් ලොකු මහත්තුරු සැරින් සැරේ ඇවිත් වීදුරු නළ වලට අපේ කෙළ එකතු කරගෙන යනවා..” යැයි ඔවුහු කියති. “වෙලාවකට ලේ සාම්පලත් එකතු කරනවා. ගමේ වතුර සාම්පලත් මඩ සාම්පලත් එකතුකර ගෙන යනවා..” ඔවුහු සිනාසෙති. “වෙන එකක් තියා, ගමේ එළදෙනෙකුට නිවුන් පැටව් හම්බ වුණා කියල ආරංචි වුණත් ඒ අය ගමට එනවා..!!”
අසල්වැසි ගම්වල වැසියන් සැකකරන්නේ මේ ගමට යම්කිසි භූත බලවේගයකින් බලපෑම් ඇති වී තිබෙන බව ය. අසල ගුවන්තොටෙන් නික්මෙන විකිරණ හේතුවෙන් කළල දෙකට පැලී නිවුන් දරු උපත් සිදුවන බවට ද විශ්වාසයක් තිබේ. මේ අතර නිවුන් දරුවන් දෙවියන්ගේ ආශිර්වාදයකැයි සිතන්නන් ද හමු වේ.
හයිද්‍රාබාදයේ සෛලික සහ ක්ෂුද්‍රජීව විද්‍යා මධ්‍යස්ථානය උම්රි ගමට මුලින්ම ආවේ මෙයට වසර 15කට පමණ පෙර ය. කුමක් හෝ හේතුවක් නිසා මේ නිවුන් දරු උපත් සම්බන්ධයෙන් ආරම්භ කළ පර්යේෂණය ඔවුන් තවම අවසන් කර නැත. 2002 වසරේ මෙම පර්යේෂණ කණ්ඩායමට නායකත්වය ලබාදුන් ජී.ආර්. චන්දක් මෙසේ කියයි. “.. අපි ගම්මානෙන් නියැදි එකතු කළා. සමාජ විද්‍යා පර්යේෂණයක් පවා ආරම්භ කළා
. නිවුන් දරුවන් සම්බන්ධයෙන් ජාන විද්‍යා පර්යේෂණයකුත් පටන් ගත්තා..” නමුත් ඔවුන් එහි අවසානයක් දුටුවේ නැත.
උම්රි ගමට මෑතක් වන තෙක් විදුලිය පවා තිබුණේ නැත. ප්‍රාථමික පාසලක් ද ඉදිකෙරුණේ දැනට වසර කිහිපයකට පෙර ය. ළඟම රෝහල පිහිටා තිබෙන්නේ කිලෝමීටර 5 ක් ඈතිනි. සිය ජීවන තත්වය නගා සිටුවීමට බලධාරීන්ගේ අවධානය යොමු නොවීම ගැන ගම්මුන් පසුවන්නේ විස්සෝපයෙනි. මෙහි ඉපදෙන නිවුන්නු ද විවාපත් වී ඉක්මනින් ගම හැර යති. උපතේදී මිය යන නිවුන් දරුවන් ද බොහෝ ය. නමුත් ඔවුන් 6% නිවුන් දරු උපත් ප්‍රතිශතයක් වාර්තා කරමින් සිටින්නේ ගමේ ළදරු මරණ අනුපාතිකය ඉහළ අගයක් ගන්නා අතර වාරයේම ය.
කෙසේ නමුත් නිවුන් දරුවන් ඉපදෙන පවුල් සිය උරුමය ගැන පසුවන්නේ ආඩම්බරයෙනි. සන්තෝසයෙනි. මේ කුඩා ගමේ නිවුන් දරුවන් මෙතරම් ඉපදෙන රහස කුමක්ද? මෙවිට ඒ ගම්මු සිනාසෙමින් මෙසේ කියති. “නගරෙ මහත්තුරුත් දන්නෙ නැතිකොට අපි දනීද..?”
- අමාලි ජයවීර
COMMENTS