රට ම දන්නා පරිදි ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානියා වන හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට සහ ඒකාබද්ධ ව...
රට ම දන්නා පරිදි ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානියා වන හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට සහ ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන්ට ද මෙම විස්වාසභංග යෝජනාව පිළිබඳව වැඩි උනන්දුවක් නැත. ඔවුන්ටත් නොමැති උනන්දුවකින් යුතුව මලික් සමරවික්‍රම මේ පසුපස හිඳිමින් ක්‍රියාකරන්නේ අමාත්‍ය රවී කරුණානයක පිට සියළු පව් පටවා තමන් නිදොස් වීමේ අරමුණින් යුතුව ය. රවී කරුණානායක බබෙකු යැයි අප කියන්නේ නැත. එසේම රවී කරුණානායකව ශුද්ධ කිරීමේ කිසිදු වුවමනාවක් ද අපට නැත. රවී කරුණානායක අයුතු ආකාරයෙන් මුදල් උපයා ඇත්නම් ඒවා හෙළිදරව් විය යුතු අතර ඔහු ඊට දඬුවම් ද ලැබිය යුතුය. එහෙත් මේ ආන්දෝලනාත්මක බැඳුම්කර මගඩියට නම් රවීගේ සම්බන්ධයක් ඇත්තේ ද නැත. රවීට මෙවර සිදුව ඇත්තේ අනුන්ගේ පවක් ගෙවීමට ය.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී මගඩි ගැසීම අද ඊයේ ආරම්භ වූවක් නොවේ. මෙහි ඉතිහාසය දශකයකටත් එහා දිව යයි. මෙය අජිත් නිවාඩ් කබ්‍රාල් මහ බැංකු අධිපති ධුරය දරන සමයේ ද නිවී සැනසිල්ලේ කරගෙන ගිය ක්‍රියාදාමයකි. මෙවර වෙනස වූයේ අජිත් නිවාඩ්ලා මිලියන ගණනින් කළ ගසාකෑම මලික්ලා බිලියන ගණනින් මහා පරිමාණයෙන් කිරීමය. බැඳුම්කර නිකුතු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශනය කරන්නේ නම් අද බැඳුම්කර මගඩි ගැන යටි ගිරියෙන් දෙසා බානා රාජපක්ෂලා ඇතුළු ඒකාබද්ධ නඩයෙන් සෑහෙන පිරිසක් ද එදා කෑ දේවල් වැමෑරිය යුතුව තිබේ.
එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට බැඳුම්කර මගඩිය පිළිබඳ ලණුව අගමැති රනිල් වික්‍රමසිංහට ගිල්ලවා ඇත්තේ මලික් සමරවික්‍රම විසිනි. ජනාධිපතිවරණය සඳහා ප්‍රචාරණ කටයුතු වියදම් වෙනුවෙන් ගෙවිය යුතුව තිබූ බිලියන දෙකක ණය මුදලක් ගෙවීමට වෙනත් කිසිදු ක්‍රමයක් නොමැති බව මලික් විසින් පවසා මීට මඟ කපාගෙන තිබේ. අදාල බැඳුම්කර නිකුතුව අවසාන වූ මොහොතේ ම මලික් සමරවික්‍රම එතැනට පැමිණි බවට සීසීටීවී දර්ශන සාක්ෂි ද හමු වී ඇති බව වාර්තා වේ. මලික් සමරවික්‍රම එවකට එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා විනා ඇමතිවරයකු හෝ නොවේ. එහෙයින් මලික්ට එතැනට පැමිණීමට කිසිදු හේතුවක් ද නැත. කොමිසම කොතෙක් දුර යනු ඇත්දැයි අප නොදන්නා නමුත් බැඳුම්කර හුටපටය සම්බන්ධයෙන් බොහෝ තොරතුරු මීළඟ සතිය තුළ හෙළිදරව් වීමට නම් නියමිතව ඇත.
COMMENTS