කවියා නැතිනම් කුකවියා ගොයුම් එවරස්ට් ආරච්චිගේ ය. කෘතිය කුකවිය. කෘතියේ නාමය හා අන්තර්ගතය එකිනෙකට සහවාසයේ යෙදී ඇති බැවින් කේ.කේ.සමන් කුමාරට ...
සහවාසය-intercourse
වේදාන්තය - කුර් ආනය
ත්‍රිපිටකය- බයිබලය
එකට ‘හැමනිලා‘
හරි ජරමරයයි
පැටව් ගහනවා
හෝ ගාලා.
එවරස්ගේ සමස්ථ කෘතියේම එක්තරා කේන්ද්‍රීය ලක්ෂ්‍යයක් ලෙස මෙම රචනය හැඳින්විය හැක. මාතෘකාව වෙනුවෙන් සහවාසයත් රචනය තුළ ‘හැමනිලා‘ යන්නටත් සඳහන් කරවීමෙන් එවරස්ට් කර තිබෙන්නේ අන්තර්ගතය හා නාමික සන් කිරීම අතර විරුද්ධෝක්තිය ලෙස තමන්ට ලැබුණ නිෂ්පාදනයට ‘කුකවි‘ යනුවෙන් නම් තැබීමයි. එය ඔහු තුළම පවතින්නා වූ උක්ත රචනයේ අඩංගු කෘතින් සමඟ ඇති ආත්මීය බැඳියාවට සමස්ථ කෘතියම සාම්‍යය ක් බවට ගම්‍ය කරවන්නකි.
‘සයිඩ් නෆසි‘ නමැති මැදපෙරදිග විචාරකයා මෙසේ පවසනු ලබයි. ‘සම්ප්‍රදාය අමතක කරන කාව්‍යය ගොඩ නැගෙන්නේ වැලි තලා මතය‘යනුවෙනි. නමුත් සයිඩ් කෙසේ කීවද සැමදා අළුත් නිෂ්පාදන බිහි වූයේ සාම්ප්‍රදායිකත්වය සමඟ අරඟල කිරීමෙනි. එවරස්ට් ද නූතන සංදර්භය ක සිට ‘කුකවි‘ යන කෘතිය සමාජය වෙත තිළිණ කරන්නේ මෙකී අරඟලයේ අවිඤ්ඤාණික සහ සවිඤ්ඤාණික පෙළඹවීමකට යටත්වය. එම නිසා ඔහු සම්ප්‍රදාය අමතක කරවමින් කෘතියක් ලියූ ‘චමින්ද වෑවලගේ ‘ (මොහුගේ කෘතිය තවම ප්‍රකාශයට පත් වී නොමැත) නම් වූ අප්‍රසිද්ධ කවියා පිළිබඳවත් ඔහුගේ අභිලාෂය පිළිබඳවත් මෙසේ සඳහන් කරනු ලබයි. වෙනත් වචන වලින් කියන්නේ නම් කුකවියකින් හයිකුවක් නිර්මාණය කොට ‘චමින්දයා‘ පිළිබඳව කෙටි වාක්‍ය තුනකින් එවරස්ට් එය මෙසේ ‘මෝචනය‘ කරනු ලබයි.
කුකවියෙකුගේ ප්‍රණාමය
කවියෙකුට
කවියා - චමින්ද වෑවලගේ
මැය - ඩෙනිම
object එක - උඹේ ඩෙනිම ඉරලා
මගේ ඩෙනිම ඉරිලා
(කුකවි- පිටුව 51)
සැබැවින්ම ඩෙනිම යනු කම්කරුවාගේ ඇඳුමයි. පසුව එය guns and roses වැනි හෙවි මෙටල් රොක් සංගීත කණ්ඩායම් වලිනුත් හිපි සංස්කෘතියෙනුත් ලොව වටා විලාසිතාවක් වශයෙන් ව්‍යාප්ත වුණි. සැබැවින්ම චේ මෙන්ම ඩෙනිම ද දෙකයි පනහේ ගාණට වැටුණි. “ඉරලා“ සහ “ඉරිලා“ යන වදන් ද්විත්වය පාඨකයා තුළ ජනිත කරවනු ලබන්නේ, අන් කවරක්ද?. චමින්ද වෑවලගෙදරට ජවිපෙ හා ලංකා පුවත් පත සමඟ තිබූ(නමුත් තවමත් තිබෙවනවා සේ පෙනෙන) ආත්මීය බිඳ වැටීමයි. ජවිපෙ පීල්ලෙන් පිට පැන බොහෝ දුර ගොස් ඇත. නමුත් ව්‍යාජත්වය හෝ ඔටුනු පළන් චමින්දයා සැබෑ වමක් ගැන ආත්මීය සිහින දකින්නෙකි. මේ මොහොත වන විට ඔහුගේ දේශපාලන මතය කවරාකාරද යන්න මා නොදනී. නමුත් එවරස්ට් අතින් මෙකී රචනාව ලියවෙන මොහොතේ චමින්දයා ජවිපෙ වෙනුවෙන් මනාප පොරයටත් බැස්ස ජවිපෙ කවියෙකි.
දැන් අපි තවත් රචනාවකට නෙතු හරවමු.
කාමය vs ආදරය
හරිම පුදුමයි
දැන්
ආදරයටම පමණමයි
කර්මන්‍ය කරන්න
ඇහැක් වෙලා තියෙන්නෙ
උත්තමාංගය
(පිටුව- 28)
එවා පුරුෂ ශිෂ්ණය යන වදන වෙනුවට උත්තමාංගය යන බෞද්ධ පඨිතයන්හි එනු ලබන වදන යොදා ගනී. මෙය එක් වරම කතාවන් ද්විත්වයක් මගේ සිහියට නංවනු ලබයි. පළමුවැන්න නම් එදා මෙදා තුර ෆැන්ටසි මිනිසා වූ ලියනාඩෝ ඩාවින්චි එක්තැනක මෙසේ පවසා තිබීමයි. එනම් පුරුෂ ශිෂ්ණය යනු මිනිසාගේ මොළයෙන් වියුක්තව සිතන පතනු ලබන වෙනත්ම ජීවියෙකු බවයි. මාකේස් කොළරා ආලේ හිදී ද මෙය හාස්‍යයට පමුණුවන අතර බුද්ධාදේව් බෝස් ඇඳ හැළෙණ තුරා මහ වැසි ඇඳ හැළුණි යන නිර්මාණයෙනුත් හරුකි මුරකමි කෆ්කා මුහුදු වෙරළේ යන නිර්මාණයේදීත් මෙය සංවාදයට බඳුන් කරවනු ලබයි. එවා පළමුවෙන්ම ගොස් තිබෙන්නේ ඩාවින්චිගේ අඩි පාරේය. නමුත් ආපසු ඔහු ඇවිත් තිබෙන්නේ පාරිශුද්ධත්වය මුසු වූ හැඟීමකින් පුරුෂ ශිෂ්ණය හීනයානය තුළ වූ උත්තමාංගය බවට වූ පද පෙරළයක් ද සමඟිනි. මෙය හුදෙක්ම පද පෙරළියක් පමණක් නොවේ. එය මිනිසෙකුගේ වියපත් භාවය(ලිංගික ජීවිතයේ) හා සමඟ ප්‍රකාශ වෙනු ලබන නෛසර්ගික මානුෂික හැඟීමකි. නමුත් දෙවැනි කතාව මෙයට අදාළ වන්නේ කෙසේද යන්න ප්‍රශ්න නැඟීම මම ඔබට භාර කරමින් එය සඳහන් කිරීමට කැමැත්තෙමි. මහායානයේ සුඛාවතී සම්ප්‍රදායට අයත් අමිතායුර්ධ්‍යාන සූත්‍රයේ සඳහන් වන්නේ වේදේහී බිසව අජාසත් විසින් සිර කරන ලද සිර කුටියට යෑමට පෙරාතුව තම ඇඟ පුරාම මී පැණි හා පිටි ගා ගත් බවත් ආභරණවල මුද්‍රික පානය සඟවා ගත් බවත්ය. එහිදී මහායානය ද බිම්බිසාර වේදේහී ගේ සිරුරේ කවර ස්ථාන ලෙව කා උරා බීවා දැයි කියා සඳහන් කරන්නේ නැත. ඔබේ අත්‍යයන්ත වූ පරිකල්පනය මෙහෙයවමින් කැමති නම් එය අත්විඳින්න. කාමය vs ආදරය යනු සැබැවින්ම ලිංගික දිවියේ අවසාන නිෂ්ඨාවයි. එවාගේ කෙටි රචනය අපේ පරිකල්පනය බොහෝ සේ පුළුල් කරවණු ලබයි. මෙවැනි කුඩා ලිපියකින් මෙම කෘතිය පිළිබඳව කතා කිරීම සැබැවින්ම කෘතියට කරන අසාධාරණයක්ම වන්නේය. නමුත් අපට වෙනත් මඟක් නොමැත්තේය. පොතෙහි පිටු ඔබම පෙරළනු විනා...
බාසුරු ජයවර්ධන
basurujayawardana@gmail.com
COMMENTS