රනිල් වික්‍රමසිංහ මහතාට මේ දිනවල බරපතළ අපල කාලයක් ලබා ඇති බැවින් ඊට පිළියම් ලෙස දකුණු ඉන්දියාවෙහි කෝවිලක පූජාවක් පැවැත්වීම සඳහා ඔහුට ය...
රනිල් වික්‍රමසිංහ මහතාට මේ දිනවල බරපතළ අපල කාලයක් ලබා ඇති බැවින් ඊට පිළියම් ලෙස දකුණු ඉන්දියාවෙහි කෝවිලක පූජාවක් පැවැත්වීම සඳහා ඔහුට යෝජනා කර ඇත්තේ සතාසිවම් නම් පුද්ගලයකු විසිනි. අගෝස්තු 25 වනදා ඉන්දියාව බලා යන රනිල් මහතා නැවත පැමිණීමට නියම ව ඇත්තේ 27 වනදා ය.
රටේ බොහෝ පිරිස් සිතාගෙන සිටියේ රනිල් වික්‍රමසිංහ යනු මිත්‍යාවට යට නොවූ නියම ලිබරල් නායකයකු බවය. එහෙත් යම් පමණකින් හෝ ලිබරල් ලක්ෂණ පෙන්වූ නායකයින් ද මිත්‍යාවට යටවන අන්දම දැකීම ශෝචනීය ය. මීට පෙර මංගල පින්සිරි සමරවීර අමාත්‍යවරයාගේ මහානායක වන්දනාව පිළිබඳව විමසීමේදී ඔහු ප්‍රකාශ කර තිබුණේ ඔහුව මලික් සමරවික්‍රම විසින් ඇදගෙන ගිය බවකි. මෙවර රනිල්ගේ කෝවිල් වන්දනාව ගැන රනිල් ද සතාසිවම්ගෙන් බේරෙන්නට බැරි තැන ගිය ගමනක් ලෙස විස්තර කරන්නටත් බැරි නැත.
රටක නායකයින් මෙසේ මිත්‍යාවට යට වූ විට අවසානයේ රට කරවන්නේ කට්ටඬියන්ට වුවමනා හැටියට ය. යන යන තැන මැජික් බෝල කරකවමින් සිටි ජනපති මහින්ද සමඟ එවන් දස වසරක් අප පසුකළා පමණය. වත්මන් ජනපති මෛත්‍රී, ශ්‍රී මහා බෝධී උඩමළුවේ පදිංචි වී ශ්‍රී මහා බෝධිය බදාගෙන ම සිටියද අප කිසිවක් කියන්නේත් නැත. ඒ, ඔහු පොළොන්නරුවේ ගැමි සිංහලබෞද්ධයෙක් බව අප දන්නා නිසාය. එවැන්නන්ට අනුව බුදුන්ටත් දහමටත් වඩා බෝධියට අනුහස් තිබේ. ඔවුන්ට කිසිවක් කියා තේරුමකුත් නැත. එහෙත් යම් පමණකින් හෝ ලිබරල් ලකුණු පෙන්වූ නායකයින් ද මිත්‍යාව බදාගන්නා කල සුන්ව යන්නේ රටේ අනාගතය පිළිබඳව ඇති යහපත් බලාපොරොත්තු ය.
මිත්‍යාවට යට වුණු ලාංකේය රාජ්‍ය නායකයින් ගැන කතා අනන්තවත් තිබේ. මේ ද ඉන් එකකි.
ආර්. ප්‍රේමදාස සහ උඩවැඩියා මල
රණසිංහ ප්‍රේමදාස මහතා ජනපතිව සිටියදී සුචරිත මන්දිරයෙහි එක් උඩවැඩියා ශාකයක් තිබිණි. ජනපතිවරයා සුචරිතයට පැමිණි විගස තම වැඩ ආරම්භ කිරීමට පෙර මෙම උඩවැඩියා ශාකයෙහි මල දෙස බොහෝ වෙලාවක් බලා හිඳිමින් සිත සන්සුන් කරගැනීම සිරිතය.
ජනාධිපතිවරයා පැමිණීමට පෙර කාර්යාලයෙහි සෑම අස්සක් මුල්ලක් නෑරම සෝදිසි කිරීම ජනාධිපති ආරක්ෂක අංශයේ වගකීමයි. ඒ අනුව දිනක් මෙම උඩවැඩියා මල් බඳුන ද එක් ආරක්ෂකයකු අතින් ඔසවා පරීක්ෂා කෙරෙද්දී එහි මලෙන් එක් පෙත්තක් බිම හැළී ඇත. ආරක්ෂකයා ද එය නොදුටු බැවින් මල් පෙත්ත වැටුණු ආකාරයෙන් ම බිම තිබියදී ජනපති ප්‍රේමදාස එතැනට පැමිණ ඇත. සුපුරුදු පරිදි උඩවැඩියා මල දෙස බැලූ ප්‍රේමදාස ජනපතිවරයා එදිනට නියමිත වැඩ සියල්ල ම කල් දමා වහා එතැනින් පිටව ගොස් ඇත.
එදින රාත්‍රිය එළිවෙන තුරා ප්‍රේමදාස ජනපතිවරයා සෙත් ශාන්ති කරවාගෙන ඇත්තේ පෙර කී උඩවැඩියා පෙත්ත ගිලිහීමෙන් පෙන්නුම් කෙරුණු අපලය වළක්වා ගැනීමටය. මිත්‍යාව විසින් මිනිසකුව වසාගත් විට වන්නේ ඔවැනි දේවල්ය.
COMMENTS