නමුත් මෙම පනතේ ද අඩු පාඩු සැළකිය යුතු ප්‍රමාණයක් ඇත. මෙම පනතේ තිබෙන විශාලතම අඩු පාඩුවක් වශයෙන් බදු නිදහස් කිරීම් (සැළකිය යුතු ප්‍රමාණයකින...
නමුත් මෙම පනතේ ද අඩු පාඩු සැළකිය යුතු ප්‍රමාණයක් ඇත. මෙම පනතේ තිබෙන විශාලතම අඩු පාඩුවක් වශයෙන් බදු නිදහස් කිරීම් (සැළකිය යුතු ප්‍රමාණයකින්) හැඳින්විය හැක. එම බදු නිදහස් කිරීම් ඉවත් කරනු ලැබුවහොත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ඉලක්ක ගත හැකි ආදායම ලබා ගත හැකි වේ. දේශීය ආදායම් පොදු සේවක සංගමය විසින් දැනට පවතින පනතේ යම් යම් සංශෝධන සිදු කොට ඉලක්කගත ආදායම සඳහා යා යුතු බව රජයට පෙන්වා දී තිබේ.
බදු කටයුතු වලට සෘජුවම මැදිහත් වනු බදු වෘත්තීය ආයතන හෝ බදු ගෙවනු ලබන පුද්ගලයන් හෝ වෙනත් පාර්ශවයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දැනට තිබෙන පනත ඉවත් කරන්න හෝ නැවත යළි අළුත් පනතක් ගෙන එන්න යැයි හෝ ඉල්ලීමක් සිදු කොට නොමැති අතර මෙය හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතාගේ යෝජනාවලියකි. වර්තමානයේ මුදල් අමාත්‍යය ධූරය දරණ මංගල සමරවීර මහතාද මෙම පනත් කෙටුම්පත වෙනුවෙන් පෙනී සිටී. ඒ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දේශීය ආදායම් පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් ගලහපත්ති මහතා ලංකා නිව්ස් වෙබ් වෙත ප්‍රකාශ කළේය.
මෙම අළුත් පනත ගෙන ඒමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ආණ්ඩුව ණය ලබා ගෙන ඇත. ජාත්‍යයන්තර මූල්‍ය අරමුදල එවැනි විස්තීරණ ණය ලබා දීමේදී යම් යම් කොන්දේසි පනවනු ලැබේ. ජාත්‍යයන්තර මූල්‍යය අරමුදලින් ලබා ගත් ණය මුදලේ පළමු වාරිකය හා දෙවන වාරිකයත් තෙවන වාරිකයත් මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මුදා හැර ඇත. තෙවන ණය වාරිකය පමණක් ඇමරිකන් ඩොලර් මිලියන 167.2කි. එම වාරිකය මෙම මස 19 වෙනි දින මුදා හැර තිබේ.
මෙම ණය වාරිකය ලබා දීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කොන්දේසි කිහිපයක් පනවන ලදී. එම කොන්දේසි වලින් එකක් වනුයේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පනත සෑදිය යුතු බවයි. මේ සම්බන්ධයෙන් 2017 ජූලි 18 මහ බැංකු පුවත් පත් නිවේදනයක් නිකුත් වන අතර එහි සඳහන් වී තිබෙන්නේ , ජාත්‍යයන්තර මූල්‍යය අරමුදල මේ වන විට සතුටට පත්ව ඇති බවයි. එනම් දේශීය ආදායම් බදු පනත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ සභාගත කොට ඇති බැවිනි. මේ සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක් වූ ගලප්පත්ති මහතා ඒ පිළිබඳව මෙසේ ප්‍රකාශ කළේය.
“ අපි මේක පැහැදිළි කරගන්නෙ බදු ක්‍රියාවලියට සම්බන්ධ බදු වෘත්තිකයන්ගේ හෝ දෙපාර්තමේන්තු නිළධාරීණ් හෝ වේවා එසේත් නැතිනම් අදාළ වෘත්තිකයන් යන කිසිඳු අයෙකුගේ වුවමනාවට ගේන එකක් නෙමෙයි කියන තැන ඉඳළයි. මෙය සිද්ද වෙන්නෙ ණය කොන්දේසියක් සැපයීම වෙනුවෙනි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බලෙන් ගෙනාපු පනතක් හැටියට තමයි අපි මේක දකින්නෙ “
නව පනතෙහි ඇති හානි දායක තත්වයන්
1.දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් ගේ සිට නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල්වරයා දක්වාත් ඔහුට ඉහළින් සිටින කොමසාරිස් ජෙනරාල්වරයා දක්වාත් ඇති බලය වත්මන් පනත යටතේ ආකාර දෙකකට බෙදී ගොස් ඇත. ඉන් පළමු වැන්න අදාළ නිළධාරීණ්ට යම් යම් අවස්ථාවලදී බලය පාවිච්චි කිරීමට හැකි ආකාරය පනත තුළින්ම ලබා දීම. අනිත් ආකාරය තමයි කොමසාරිස් ජෙනරාල්වරයාට හෝ ජෙනරාල්වරියට තිබෙන බලය පහළ නිළධාරීණ්ට පැනවීම.
ජාත්‍යයන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කරන ලද නව පනත අනුව නිළධාරීණ්ට පනත හරහා කිසිඳු බලයක් හිමි නොවේ. එය සම්පූර්ණයෙන්ම ආයතන ප්‍රධානියට පවරා ඇත. මෙම ආයතන ප්‍රධානියා ඒකාධිපතියෙකු බවට පත් විය හැක. එය බරපතළ අනතුරකි.
2. උක්ත කාරණය අනුව තනි පුද්ගලයෙකුට සියළු බල තල හිමි වන බැවින් අනෙකුත් අය බල විරහිත වන අතර ඒ හරහා ඒ ඒ සේවකයන්ගේ කාර්යක්ෂමතාවය පහත බැස ආයතනය නිසියාකාරව පවත්වා ගෙන යා නොහැකි වනු ඇත.
3. රජයේ කිසියම් හෝ නිළධාරියෙක් තමන්ගේ බලය අව භාවිතාවේ යෙදවුවහොත් දඬුවම් කළ හැකි ක්‍රමයක් තිබේ. එනම් අල්ලස් හෝ දූෂණ විමරෂණ කොමිසම හරහා පැමිණිල්ලක් ගොනු කිරීමෙන් ඒ සම්බන්ධව විභාග කිරීම. නමුත් නව පනත තුළ අන්තර්ගතව පවතින්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිළධාරීණ් එසේ වරදක් සිදු කළ හොත්, ලක්ෂ දහයකට නො අඩු දඩයක් හෝ වසරකට නො අඩු සිර දඬුවමක් හෝ මේ ද්විත්යම දිය හැකි බවයි.
4. ඊට අමතරව එහි සඳහන් වෙනවා එම කාරණය උසාවියට දැමීමට පෙරාතුව ආයතන ප්‍රධානියාට එය සමථයකට පත් කිරීමට හැකි බවට. අපගේ පළමු අංකය යටතේ ඒකාධිපති පාලකයෙකු ආයතන ප්‍රධානියා බවට පත් විය හැකි බව සඳහන් වුණි. එය අනතුරුදායක තත්වයකි. අනිත් අතට මෙය උසාවියේ බලය ආයතන ප්‍රධානියෙකුට පැවරීමකි.
5. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බඳවා ගැනීමේ ක්‍රමවේදය සේවා ව්‍යවස්ථාවේ සඳහන් වේ. නව පනත හරහා දේශීය ආදායම් නිළධාරීණ්ගේ නම් වෙනම සඳහන් කොට ඇති අතර වෙනම බදු නිළධරයන්ද පත් කළ හැක යනුවෙන් සඳහන් වේ. ඒ හරහා විවිධ ආයතන හෝ විවිධ පුද්ගලයන් පත් කිරීමේ හැකියාවක් තිබේ. ඒ අනුව මුදල් ඇමතිවරයාට අවශ්‍යය දේශපාලන පත්වීම් පවා සිදු කළ හැක.
පෙර සිටි මුදල් ඇමතිවරයා පාලනයේ සිටියා නම් එවැනි දේ සිදු විය හැකි බව ගලප්පත්ති මහතා අප සමඟ කීවේ මෙසේද සඳහන් කරමිනි.
‘අපි දැක්කා පහුගිය කාලේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු එකතු කරන කටයුතු මැකෙන්සි කියන සමාගමකට දෙන්න ගිවිසුමක් අත්සන් කරන්න හිටපු ඇමතිවරයා විශේෂ උත්සාහයක යෙදුනා. වෘත්තීය සමිතිවල බලපෑම මත ඒක කරගන්න බැරුව ගියා. “එම අවස්ථාවේදී මෙය සිදු කරගැනීමට නොහැකි වී තිබෙන්නේ ප්‍රධාන හේතු දෙකක් නිසාවෙනි
1. වෘත්තීය සමිතිවල බලපෑම
2. වත්මන් පනතේ නීතිමය ඉඩක් ඒ වෙනුවෙන් නොතිබීම.
ඉතිං, දැන් පැහැදිළිවම පෙනෙන්නේ නව පනත හරහා වත්මන් ආණ්ඩුව ප්‍රමුඛ මංගල සමරවීර මුදල් ඇමතිවරයා එම ක්‍රියාවලිය සිදු කිරීමට නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු සභා ගත කොට ඇති බවයි. වත්මන් පනත හරහා එම කටයුතු සිදු කිරීමට අවශ්‍යය සියලුම නීතිමය දේවල් නම් කොට ඇත.
මෙරටේ විවිධ වෘත්තිකයන් සිටී. වත්මන් පනත අනුව වෘත්තිකයන්ගෙ බදු නිදහස් දීමනාව හත් ලක්ෂ පනස් දහසකි. එම වෘත්තිකයන් ගෙන් බදු අය කරනු ලබන්නේ ආදායම වසරකට හත් ලක්ෂ පනස් දහසකට වඩා වැඩිනම් පමණි. 4% 8% 12% 16% ලෙස උක්ත මුදල ඉක්මවා ගිය විට බදු අය කරනු ලැබේ. නව පනත හරහා මෙම හත් ලක්ෂ පනස් දහස ලක්ෂ හයක් දක්වා අඩු වී තිබේ. එමෙන්ම අය කර ගත හැකි උපරිම බදු ප්‍රමාණය 24% දක්වා ඉහළ දමා ඇත.
වර්තමාන පනත අනුව වෘත්තිකයෙකු බැංකු ණයක් ලබා ගෙන ඇතිනම් එම ණය වාරික ගෙවීමේදී ගෙවන ප්‍රමාණය ලක්ෂ හයට අඩු නම්, සම්පූර්ණයෙන්ම ඔහුට හෝ ඇයට එය බදු ආදායමෙන් අඩු කරගත හැක.
මෙය උදාහරණයක් මගින් ගලප්පත්ති මහතා පැහැදිළි කළේ මෙසේය.
“අපි හිතුවොත් කෙනෙක්ගෙ බදු ගෙවිය යුතු අර ලක්ෂ හත හමාරත් ඉවර කළාට පස්සෙ බදු ගෙවිය යුතු ආදායම ලක්ෂ දහයයි කියලා, එයා ණයක් අරගෙන ගෙයක් හඳනවා නම්, ණය වාරිකය ගෙවනවා නම් අර ලක්ෂ 10න් ලක්ෂ 6ක් අඩු කළාම අර ඉතුර ලක්ෂ හතරට තමයි බදු ගෙවන්න ඕන.“
දැන් ඒ සහනය සම්පූර්ණයෙන්ම ඉවත් කොට ඇත.
අනිත් අතට ලංකාවේ වෘත්තිකයන් මුහුණ පාන අනිත් ගැටළුව නම් ඔහු හෝ ඇය ලංකාවෙන් පිට විදෙස් ආයතනයකට සේවාවක් සපයන අයෙකු නම් මෙරටදීම හෝ එම අදාළ රටටම ගොස්, ඔහු හෝ ඇය රැගෙන එන විදේශ විනිමය බදු මුදලකට යටත් වන්නේ නොමැත. නමුත් නව පනත එය බද්දට යටත් කොට ඇත.
විදේශික වෘත්තිකයෙක් මෙරට වෘත්තියක නිරත වී මෙහි උපයන මුදල් ඔහු හෝ ඇය රටින් පිටට ගෙන යන විට එයට බදු ගෙවීමට සිදු වුවද නව කෙටුම්පත හරහා එසේ නොකළ යුතු බව සඳහන් වේ. මෙවිට පැන නගින ප්‍රශ්නය නම් ගෙවුම් ශේෂය පිළිබඳ ප්‍රශ්නයයි. අපේ රට උපයන ප්‍රමාණයට වඩා වියදම් කිරීම වැඩි බැවින් මෙම ගෙවුම් ශේෂ ගැටළුව ඇති වේ.
මෙම පනත හරහා දේශීය වෘත්තිකයා අධෛර්යමත් වන විට විදේශික වෘත්තිකයා ධෛර්යමත් වෙනු ලබයි. ඒ හරහා එට්කා වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කොට විදේශික ආයෝජකයින් ශ්‍රමිකයින් ගෙන්වීමට හැකි වේ. ගෙවුම් ශේෂ ප්‍රශ්නයට විශාල බලපෑමක් විදේශ විනිමය හරහා ඇති විය හැක. මෙරට ආයෝජකයින් පවා මුදල් පිට රටවල් වලට ගෙන ගොස් එම රටවල් වල ආයෝජනය කළ හැකි තත්වයක් එවිට උද්ගත වේ
මෙරට පවතින වෘත්තීය ආයතන වන ශ්‍රී ලංකා පදනම් ආයතනය,ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යන ආයතන ඒ ඒ වෘත්තිකයන්ගේ ගුණාත්මකභාවය තීරණය කරන නිල ආයතනයි. එම ආයතන පවා වත්මන් පනතෙන් නිදහස් වී සිටින අතර නව පනත හරහා ඒ සියළු ආයතන වලට බදු පැනවීම් පනවා ඇත. ඒ අනුව බලන කල මෙය වෘත්තියකන් කෙරෙහි විශාල බලපෑමක් පවතින පනතකි.
කිසියම් නිර්මාණකරුවෙකුගේ නිර්මාණයක පළමු වර්ෂයේ ආදායම(මෙහිදී ගනු ලබනුයේ සමස්ථ ආදායමෙන් සියයට පනහක් පමණි. එනම් මුළු ප්‍රතිලාභයෙන් අඩකට බදු පැන වේ.) සියයට පනහක් බදු වලට යටත් වේ. මෙය සිනමා කෘතියකට වසරකුත් සාහිත්‍යය හෝ වෙනත් කෘතියකට නම් පළමු මුද්‍රණය සඳහා යනුවෙන් වර්ගීකරණය වේ. මෙම නව පනත හරහා ඔවුන්ට ලබා දී තිබුණ 50%ක බදු සහන පදනම පවා ඉවත්කොට තිබේ
ක්‍රීඩාව, කෘෂි කර්මාන්තය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ද සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා බදු පදනම 12% සිට 14% දක්වා වැඩිකොට ඇත. පවුද්ගලික හා අර්ධ පවුද්ගලික යන අංශයන් වලට අයත් සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල ඒවායෙහි ඇති මුදල් විවිධ අයුරින් ආයෝජනය කරනු ලබයි. උදාහරණයක් වශයෙන් කොටස් වෙළඳපොළ දැක්විය හැක. මෙම ලාභය සේවකයාට හිමි වෙනු ලබන්නේ විශ්‍රාම ගිය පසුවයි. මෙහි වත්මන් බද්ද 10%ක් වන අතර නව පනත හරහා එයද 14% දක්වා වැඩි කොට ඇත.මේ අනුව බලන කළ මෙය බොහෝ කේෂ්ත්‍ර ගණනාවකට බලපානු ලබන පනතකි.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වෘත්තීය සමිති පහක එකතුවක් හිටපු මුදල් අමාත්‍යය රවී කරුණානායක මහතාට ලිඛිතව දොළොස් වතාවක් දැනුම් දී ඇති අතර එයින් එකදු ලිපියකට හෝ හමු වීමට වේලාවක් දන්වන පිළිතුරු ලිපියක් ලැබී නොමැත.
පසුගිය මාසයේ දෙවන සතියේ වත්මන් මුදල් අමාත්‍යය මංගල සමරවීර මහතා මොවුන් හමු වි තිබෙන අතර එහිදී අමාත්‍යවරයා පවසා තිබෙන්නේ පනත ඉවත්කර නොගන්නා ලෙසයි. නමුත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වනුයේ වත්මන් පනත සංශෝධනය කිරීම මිස මෙවැනි නව පනතක් ගෙන ඒම නොවේ.
යුධ සමයේදී විශාල වශයෙන් බදු සහන ලබා දුන් අතර එසේ ලබා දුන්නේ විදෙස් ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීමටය. නමුත් වත්මන් තත්වය අනුව යුද්ධයක් නොමැති බැවින් විශාල වශයෙන් බඳු සහන අඩු කළ හැක.
රැමිස් ව්‍යාපෘතිය(RAMIS)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පරිඝණක මෘදුකාංග පද්ධතියක් පසුගිය රජය විසින් සිංගප්පූරු සමාගමක් හරහා හඳුන්වා දෙන ලදී. ඒ සඳහා මේ වන විට කෝටි බිලියන පහක් වියදම් කොට ඇත. රැමිස් ව්‍යාපෘතිය හා සමගාමීව මානව සම්පත් කළමණාකරණය හා වැඩසටහන් පරිපාලන ව්‍යාපෘතිය ක් ද ක්‍රියාත්මක වී තිබේ. ගලප්පත්ති මහතා සඳහන් කළේ මෙම මෘදුකාංගය හඳුන්වා දීම නිසාත් මානව සම්පත් කළමණාකරණය පිළිබඳව ලබා ගත් දැනුම නිසාත් මේ වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම ක්‍රමයෙන් වැඩි වී ඇති බවයි. නමුත් නව පනත හරහා මෙම ව්‍යාපෘතිය ඇණ හිටින අතරම ඒ සඳහා වෙන් කළ කෝටි බිලියන පහක මුදල අපතේ යෑමක් ද සිදු වේ. ඉතිරි අවුරුදු දෙක තුළ මෙම ව්‍යාපෘත්ය ක්‍රියාත්මක වුවහොත් උපරිම ඵළ නෙලා ගත හැකි වනු ඇත.
අවසාන වශයෙන් අප සමඟ අදහස් දැක් වූ ගලප්පත්ති මහතා මෙසේ සඳහන් කළේය.
“ අපි ක්‍රියාමාර්ග ගණනාවක් ගත්තා. ජනාධිපතිතුමා අවස්ථා දෙකකදි වාචිකව ප්‍රකාශ කළා හමු වෙලාම කතා කරමු මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා. නමුත් තවම එහෙම සාකච්ඡාවක් සිද්ධ වුණේ නෑ. අගමැතිතුමාගෙන් සාකච්ඡාවක් ඉල්ලලා තියෙනවා ඒත් පිළිතුරක් නැහැ.
මේ අතර අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 03ක් පැවරුවා. ඒ නඩු මේ 25 වෙනකල්ම එක දිගට අහලා අවසන් කළා. උසාවියෙදි අපි යම් යම් සුභදායී කරුණු නොදැක්කාමත් නෙමේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාර නියෝග කරලා තියෙනවා පසුගිය 24 වෙනිදා කථානායකවරයාට මෙම කෙටුම්පත යොමු කරන්න කියලා. අපි බලාපොරොත්තු වෙනවා උසාවියෙන් මේකට සහනයක් ලබා දේවි කියලා.
පාර්ලිමේන්තුවෙදි මේක සම්මත වෙන්න තියෙන ඉඩ වැඩියි. නමුත් අපි අපේ සටන අත හරින් නෑ. මේ හරහා පීඩාවට පත් වෙන සියළු වෘත්තිකයන් හා සියළු බලවේගයන් සමඟ අපි ඉදිරියට යනවා.“
මේ සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍යය රවී කරුණානායක මහතාගෙන් අප කළ විමසීමේදී ඒ මහතා මෙසේ කියමින් දුරකථනය විසන්ධි කළේය.
“මම කියන්න තියෙන දේවල් කියලා ඉවරයි. ඒ ගැන අදහසක් ප්‍රකාශ කරන්න බෑ“
මේ සම්බන්ධයෙන් අදහස් විමසීමට වත්මන් මුදල් අමාත්‍යය මංගල සමරවීර මහතා හා ඔහුගේ මාධ්‍ය ලේකම් අසිත මහතාවද සම්බන්ධ කර ගැනීමට නොහැකි වුණි.
සටහන
බාසුරු ජයවර්ධන
විශේෂ ස්තූතිය
දේශීය ආදායම් පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම්
අජිත් ගලප්පත්ති මහතාට
COMMENTS