උදාහරණයක් ලෙස, අපට කඩ කාමරයක් තියෙනවා ය කියා හිතමු. කඩ කාමරය අපේ නිසා ඕනැ නම් අපට කඩයක් දමන්නට පුළුවන. හැබැයි ඒකට ප්‍රාග්ධනය හා කඩ කෙරුවා...
උදාහරණයක් ලෙස, අපට කඩ කාමරයක් තියෙනවා ය කියා හිතමු. කඩ කාමරය අපේ නිසා ඕනැ නම් අපට කඩයක් දමන්නට පුළුවන. හැබැයි ඒකට ප්‍රාග්ධනය හා කඩ කෙරුවාව ගැන දැනුම, පළපුරුද්ද එහෙම අවශ්‍ය ය. නැතිනම් කඩය ලාභ ලබන්නේ නැත.
අපට වඩා කඩ කෙරුවාව දන්නා සුපර් මාකට් ජාලයකින් අපේ කඩය දැන් ලබන ලාභයට වඩා ඉහළ කුලියකට අපෙන් බදු ගෙන, එය නවීන තත්වයෙන් පවත්වාගෙන යාමට ආයෝජනය කරන්නට ඉදිරිපත් වෙනවා නම්, කඩේ අපේ නිසා පාඩු පිට හරි අප ම කඩය කරනවා ද? නැතිනම් කඩය බදු දී බද්ද අරගෙන වෙන දෙයක් කරනවා ද?
මේවා ව්‍යාපාරික ලෝකයේ නම් ඉතා සාමාන්‍ය සංසිද්ධි ය. මධ්‍යම පංතිකයන් අතර ද මෙය ඉතා සුලබ තත්වයකි. හේතුව, මධ්‍යම පංතිකයන් යනු දේපල බදු දීම ගැන ඔස්තාද්ලා පිරිසකි.
වසර 2005දී පැවැත්වුණු ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ දිනවීමට ක්‍රියා කිරීම වෙනුවෙන් අල්ලස් ලෙස බැසිල් රාජපක්ෂගේ මැදිහත් වීමෙන් ජවිපෙට රේඩියෝ නාලිකාවක් සඳහා බලපත්‍රයක් ලැබිණි. පසුව පටන් ගන්නා ලද මේ රේඩියෝ නාලිකාවට රජයෙන් දැන්වීම් ද ලැබිණි.
එහෙත්, ජවිපෙ මහින්දට දෙන සහාය ඉවත් කර ගැනීමෙන් පසු දැන්වීම් නතර විය. ඉන් පසු පාඩු පිට පවත්වාගෙන ගිය රේඩියෝ චැනලය අවසානයේදී විකුණා දමන ලදී. ජවිපෙ වී එෆ් එම් විකිණීම ගැන මෙතනින් කියවන්න.
මේ පිළිබඳව ජවිපෙ සාමාජිකයකුගේ තර්කය වුණේ ජවිපෙ ප්‍රමුඛ කාර්යය දේශපාලනය කිරීම මිස රේඩියෝ චැනල් කිරීම නො වන බවයි.
රජය සම්බන්ධයෙන් අප ද කියන්නේ මෙය ම ය. රජයේ ප්‍රමුඛ කාර්යය බිස්නස් කිරීම නොවේ. රජය කළ යුත්තේ ආයෝජන, ව්‍යවසාය, කර්මාන්ත, සේවා ආදිය නියාමනය කිරීමයි. ඒ අතර මහජන සුබසාධනය , දිළිඳුකම දුරලීම වැනි ප්‍රබල වගකීම් රැසක් රජයට තිබේ.
හම්බන්තොට වරාය බදු දීම සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු රජය පැත්තෙන් පැහැදිලි කර තිබිණි.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ China Merchants Holdings Company Ltd අතර අත්සන් කළ හම්බන්තොට වරාය සහන ගිවිසුම
* ගනුදෙනු වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 1.4කි.
* එකඟ වී ඇති ආයෝජන වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 1.12කි.
* ගිවිසුම් කාලය වසර 99කි
* බහාලුම් කාර්යසාධනය මත රාජ්‍ය භාගය හා උපරිම ලාභාංශය ගෙවීමට CM Port සමාගම එකඟ වී ඇත.
* වරාය නියාමකවරයෙක් පත් කිරීම සඳහා වරාය හා නාවික විෂය කටයුතු භාර අමාත්‍යවරයාට අයිතිය ඇත.
* ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන සියලුම අයිතිය ශ්‍රී ලංකා රජය සතු වේ.
වරාය අධිකාරියට අයත් හම්බන්තොට වරායේ තෙල් ටැංකි බංකරින් සඳහා තමන්ට දෙන්නැයි තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ඉල්ලා සිටිති. එසේ ඉල්ලා වර්ජන ද කරති. ඉල්ලන්නේ තමන්ට අයිති දේපලක් ද නො වේ.
තෙල් සංස්ථාව පවතින්නේ අන් හේතුවක් නිසා නොව, ආනයනය කර ඉන්ධන අලෙවි කිරීමේ වෙළඳපොළේ 95%ක ඒකාධිකාරයක් බලෙන් අත්පත් කරගෙන සිටින නිසා ය. තෙල් සංස්ථාව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රු. 13ක් පමණ ද, ඔටෝ ඩීසල් ලීටරයකින් රු. 6.50ක් පමණ ද පාඩු ලබන බව පෙට්‍රෝලියම් හා සම්පත් හා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ පවසයි.
එහෙත්, ඒ මිළට ම ඉන්ධන ආනයනය කර අලෙවි කරන අයිඕසී සමාගම ලාභ ලබයි. තෙල් සංස්ථාව පාඩු ලබන්නේ අකාර්යක්ෂමතාව නිසා ය. තෙල් සංස්ථාවේ අකාර්යක්ෂමතාව නිසා සිදු වන පාඩු පියවා ගැනීමට තෙල් මිළ වැඩි කළ විට සිදු වන්නේ අයිඕසී එකේ ලාභය ඩබල් ට්‍රිබල් වීමයි.
තෙල් සංස්ථාවෙන් ඒකාධිකාරය ඉවත් කළ ලිහිස්සි තෙල් වෙළඳපොළේ සිදු වී ඇත්තේ කුමක් ද? අද ලිහිස්සි තෙල් වෙළඳපොළේ තෙල් සංස්ථාව සතුව ඇත්තේ 10%ක වෙළඳපොළ පංගුවක් පමණි.
නො දන්නා අලුත් බිස්නස්වලට අත පෙවීමට කලින් තෙල් සංස්ථාව මේවා නිවැරදි කර ගන්නට උත්සාහ කළ යුතු ය.
රජය අලුත් ව්‍යවසායන්ට අත ගැසීම මහජනතාව පැත්තෙන් පීඩාකාරී ය. තෙල් සංස්ථාව බංකරින් පටන් ගත්තා ය සිතන්න. සිදු වන්නේ කුමක් ද? තෙල් ඇමතිගේ, නියෝජ්‍ය ඇමතිගේ ඡන්ද දිනවන්නට වැඩ කළ, වෘත්තීය පුහුණුවක් නැති, මෘදු කුසලතා හෝ නැති චක්ගෝලයන්ගෙන් ඒ ආයතනය පිරවීමයි. දැන් ඉතින් උන්ට පඩි ගෙවිය යුතු ය.
ඊට අමතරව දේශපාලනයෙන් පත් වන එහි ලොකු ලොක්කන්ට ඉහළ වැටුප්, වාහන, නිල නිවාස, විදේශ චාරිකා ආදිය සපයන්නට ද සිදු වේ. දූෂණ කියන ජාතිය ගැන අමුතුවෙන් කියන්නට උවමනා නැත. බංකරින් කරන්නට එන නැවෙන් පවා කොමිස් ඉල්ලන එක ෂුවර් ය. එහෙම වී මෙය පාඩු ලබන විට මහා භාණ්ඩාගාරයෙන් සල්ලි ද දිය යුතු ය. ඒ මදිවාට මේ ව්‍යවසාය නිසා රජයේ වැදගත්කම තවත් වැඩි වී දේශපාලකයන් ද තව තවත් බලවත් වෙනවා ය. මේ සියල්ලේ බර දැරිය යුත්තේ බදු ගෙවන මහජනතාවයි.
ඒ මදිවාට පොඩ්ඩ එහා මෙහා වෙනකොට මුන් බංකරින් වර්ජනය කරනවා ය. ඊට මීට වඩා කරන්නට පුළුවන් කෙනෙකුට වරාය බදු දී 20%ක් අරගන්නා එක තේරුමක් ඇති බව ව්‍යාපාරකරණය පිළිබඳ අබ ඇටයක තරම් ඥානයක් තියෙන කෙනෙකුට තේරුම් ගන්නට බැරි නැත.
COMMENTS