එවන් වූ භාෂාවක් ප්‍රගුන කරන්නා වූ සවිඤ්ඤාණික මිනිසෙකුගේ දිවි පෙවත හුදු භාෂාත්මක තලයේ සිට පාරභෞතිකමය තලයක් දක්වා රැගෙන යනු ලබන පරාක්‍රම කො...
එවන් වූ භාෂාවක් ප්‍රගුන කරන්නා වූ සවිඤ්ඤාණික මිනිසෙකුගේ දිවි පෙවත හුදු භාෂාත්මක තලයේ සිට පාරභෞතිකමය තලයක් දක්වා රැගෙන යනු ලබන පරාක්‍රම කොඩිතුවක්කු නම් වූ විදුම්ධරයාගේ නවතම කෘතිය, ක්ලැරා, යනු සැබැවින්ම භාෂාණය අභිබවා සමාජගත වූ කථිකාවකි.
එය කථිකාවක් වන්නේ යම් මොහොතකදී ද එබැවින්ම එය භාෂණය අභිබවා පැමිණි බව සහතිකය. විශේෂයෙන්ම කැලැරන්ස් විජේවර්ධන වැනි විශිෂ්ඨයෙකුගේ සමාජ භාවිතාව(සංගීතය) ආඛ්‍යානගත කිරීමේදී භාෂණයට පමණක් සීමා විය නොහැක. එය කථන තලයේ සිට ලිඛිත භාවයෙනුත් ඔබ්බට ගිය කථිකාමය ලක්ෂණ වලින් සංලක්ෂිත වනුයේ එබැවිනි.
ක්ලැරා මෙරට නවකථා ඉතිහාසය තුළ නොමැකෙන නමක් තබනු ඇති බව සහතිකය. ඒ මක් නිසාවත් නොව, එය සුන්දර ආඛ්‍යානයක් වනවා සේම නවමු ජෝරයක්(Genere) ලාංකීය පොළොවේ ස්ථාපිත කිරීමක් ද වන බැවිනි. නවකථාව යනු හුදු රේඛාමය පඨිතයක්ය(Text/වියමන) යන ඊනියා ග්‍රාම්‍ය මතයේ සිට සියලු සාම්ප්‍රදායික වට්ටෝරු රසිකත්වය පරාක්‍රම කොඩිතුවක්කුවන් වෙඩි තබා සුනු විසුනු කොට දමන්නේ, ක්ලැරා සංගීතය හරහා ගෙන ගිය සදාකාලික තාරුණ්‍යයයේ විප්ලවය හෙවත් නවමු බව හඹා යාම, සාම්ප්‍රදායිකත්වය ගෝචර කර ගැනීම මෙන්ම එයින් අනවශ්‍ය දේ ඉවත් කිරීම යන භාවිතාවන් හි දිගුවයි.
ගිටාරය ස්වකීය කරෙහි හොවා ගෙන ක්ලැරා මෙරටේ ඇති කළේ, සුවිශාල සංගීත විප්ලවයකි. අදටත් ඔහු ගැන නොදන්නා අයෙක් නැත. ඔහු සංගීතය හදාරමින් එහි කෙළ පැමිණීමට නිහතමානී ගමනක් ගිය පරිබ්‍රාජකයෙකි. එසේ නැතිනම් ගිටාරය අතින් ගෙන සංගීතය පිළිබඳව දේශනා කරමින් තැනින් තැනට ගමන් කළ සුෆිට්වරයෙකි.
ඔහු ගේ මේ නව දැනුම හඹා යෑමට පිටු පෑ ඊනියා ගතානුගතිකවාදීන් නිසා ඔහු නිරන්තරයෙන්ම චිත්ත පීඩා විඳි බව තවඳුරටත් රහසක් නොවේ. වරෙක ඔහු ප්‍රකාශ කරන මෙම දෙබස පාඨකයාගේ හද ගැබ කොනිත්තන සුළුය. ඔහු මෙය ප්‍රකාශ කරන්නේ, ගුවන් විදුලිය ඔහුගේ සංගීතය ප්‍රචාරය කිරීම වළක්වා ඇති බව සවනත වැකුණ මොහොතකදීය.
“ මිනිස් මොළය ක්‍රියා කරමින් සිටින්නේ පෙරදිගත් අපරදිගත් එකට එකතු කිරීමටයි! අද මිනිසා තේරුම්ගත යුතු විශ්ව පාඩම එයයි.“(පිටුව-88)
ඊනියා ප්‍රාචීනවාදයට නැඹුරු වූ මිනිසුන් ඉන් එපිටහා ඇති දේවල් කුමක්ද යන්න ගැන සෙවිමට නො පෙළඹේ. එය වනාහී නලීන් ද සිල්වා වැනි ජාතිකවාදීන් බිහි කිරීමක් දක්වා දුර ගමන් ගිය රෝගකාරක විෂ බීජයකි. එය නිරන්තරයෙන්ම රාමු ගත නොවූ සැබෑ විශිෂ්ඨයන්ට පීඩාවක් ගෙන දුන්නේ, කිසි ලෙසකින්වත් දේවල්වලට ගලා යෑමට ඉඩක් නොතබමිනි.
අධිපති මතධාරීමය භූමිකාව සමඟ ක්ලැරා නිරන්තරයෙන්ම පොර බැඳුවේය. ඔහු පොදු සමාජ විඤ්ඤාණයට ගෝචර වන සංගීතය නිෂ්පාදනය කළේය. සංගීතය සිය රාග ධාරී වේදිකාවන් බැස මිනිසුන්ගේ ජීවන රිද්මයට එක් වුනේය. ක්ලැරා සිය පෑනෙන් ජනිත කළේ, සයුරෙන් එපිටහ තිබූ රිද්මයට දේශීය වචන යොදා තැනූ ගී වැල්ය.
“මංගෝ කළු නැන්දේ...හැන්දෑ ජාමේ බලා
මොක දෑ මේ පැත්තේ“
මෙම ගීතය ගායනා කළ එක් අවස්ථාවක තරුණ පිරිසක් ක්ලැරාගෙන් අසන්නේ, මංගො නැන්දා කොහි ඉන්නේ දැයි කියා ය. එ තරමටම එය තාරුණ්‍යය සිප වැළදගත් අපේ අසල්වැසි අනෙකාගේ ගීයක් බවට පත් වී සමාජගත වී තිබුණි.
මිහායිල් ෂෝලහොව්ගේ අග්‍රගණ්‍යම කෘතියක් වූ දොන් නදිය නිසලව ගලා බසී හි චරිත වර්තමානය තුළ දෘශ්‍යමාන වී අර නවකතාවේ සඳහන් අසවලා මගේ ඥාතියෙකු යැයි සඳහන් කිරීමට තරම් එ කී කෘතිය ජන මනස තුළ කිඳා බැස්සේ, ඒවා තුළ තම අසල්වැසි අනෙකා තුළ තිබූ දේශීයත්වය උත්කර්ෂයට නංවා තිබීමයි.
“පීරා ඈතින් කෙස් ගෙනත්“ යැයි කියා සේකරයන් සඳහන් කරන්නේ ඊනියා සංස්ථා ලොක්කන් හා රජයේ වැදගත් මහතුන් ගැනය. මෙය වනාහී ක්ලැරා වැනි බටහිර ගුණාත්මක දේවල් මේ පොළවේ තැන්පත් කළ අග්‍රගණ්‍යයන්ට කීමට සෑදුන පද පෙළක් නොවේ. එය උපුටා දැක්වීමෙන් මා අදහස් කරන්නේ කුමක්ද යන්න දැන් ඔබට වැටහෙනු ඇත. හුදෙක්ම දේශීයත්වය උත්කර්ෂයට නැංවීමම පමණක් නොව, ක්ලැරා කියන්නා සේම මිනිස් මොළය ක්‍රියා කරමින් සිටින්නේ පෙර දිගත් අපර දිගත් එකතු කිරීමටය. එසේ නැතිව ඊනියා පටු සංස්කෘතික පාරිශුද්ධත්වයක් වෙනුවෙන් පෙනී සිටීම බුද්ධිමතාගේ කාර්යය නොවේ.
වරෙක කෘතියේම තැනක සඳහන්වන පරිදි සංස්කෘතිය යනු එක තැන රැදෙන මළ දෙයක් නොවන අතර එය නිරන්තරයෙන්ම චලනය වෙමින් පවතින්නකි. එදා ක්ලැරා 70 දශකයේ මෙරට ඇති කළ සංගීත විප්ලවය අද වන විට සිදු කරන්නේ ඩිජිටල් උපකරණ ය. සංගීතඥයින් කීප දෙනෙක් හැරෙන්නට වෙනස් මගක් සොයා යන ජව සම්පන්නයන් කළු නික බවට පත්ව ඇත. මෙය වනාහී ඛේදවාචකයක් බවට පත් වන්නේ, මිනිසා අනුරාගයෙන් ඈත් වීමේ අශුභ පෙරනිමිති ඒවා වන බැවිනි. මේ තත්වය ගැන සැළකිලිමත් වූ කවියෙකු වන විකුම් ජිතේන්ද්‍ර හද සෛල සහ ඩයිනමයිට් හි මෙසේ ලියා තබයි.
“හමු නොවිණි කිසිවෙකුත්
ඔබ නැවතුන තැනින්“
මෙ කී පද පේලිය විකුම් විසින් ලියන ලද්දේ මාස්ටර් කේමදාස සිහි වීම පිණිසය. එය කෙතරම් දේශපාලනික ද යන බව වැටහෙන්නේ කේමදාස මාස්ටර්ගේ අවසාන කැසට් පටය කිලර්ස් යනුවෙන් නම්ව තිබීම හේතුවෙනි. ඉතිං ක්ලැරන්ස්, රූකාන්ත, කේමදාස,වැනි විශිෂ්ඨයන් විසින් නිර්මාණය කරන ලද භාව සාගරයේ පිහිනා යමින් අපි අතීත කාමයෙන් තෘප්තිමත් වෙමින් සිටින්නේ මෙ කී නිහඬ අර්බුදය පිළිබඳව හාංකවිසියකවත් නිච්චියක් නැතිවය.
මාර්තා නස්බෝන් පවසන පරිදි මේ කාලයේ තිබෙන්නා වූ බියකරුම නිහඬ අර්බුදය කලාවෙන් මිනිසා ඈත් වීමත් කලාවට සමාජය තුළ තිබෙන්නා වූ ආර්ථිකමය වටිනාකම ක්ෂීණ වෙමින් පැවතීමත්ය. මෙය දෘශ්‍යමාන වනුයේ එකම සමාජ සන්දර්භයකදී කලාව හා තාක්ෂණය යන භාවිතාවන් ද්විත්වය හිමි කරගන්නා වටිනාකම් මතය.
නමුත් ක්ලැරනස් වැනි අසහාය මිනිසුන් වරින් වර පහළ වී අපට පවසනුයේ, බලන්න මිනිසා යනු හුදු ද්‍රව්‍යවාදියෙක් පමණක් නොවේ, ඔහු සංතෘප්ත විය යුතු ආත්මීය වපසරියක් ද ඇත යන්නයි. අද සංගීතයේ නාමයෙන් පෙනී සිටිනා ඊනියා පිලස්තීනුවන් මෙහි අගය වටහා නොගනී. ඔහු යන්ත්‍රයන් මත පූර්ණ වගකීම තබමින් ඒවා භාවයන් නිපදවන තුරු බලා සිටී. භාෂාමය රිද්මය භාෂාමය අර්ථයට වඩා ප්‍රභලය යන්න වැරදි ආයුධයක් බවට විපරිණාමය කොට ඔවුන් එය දෛනිකව භාවිතාවට ගනී. අහෝ මෙසේ සමාජය ඇදී ගියහොත් දිනෙක අපට අතීතකාමයෙන් පමණක් සංතෘප්ත වී පරාක්‍රමයන් මෙන් මෙසේ අපේ සටහන්වලද සමස්ථය ගැනම ලියා තබන්නට සිදු වෙනු ඇත.
“ඔබ මූදෙන් එහා දුටු සංගීත විප්ලවය අද නව මානවීය ශිෂ්ඨාචාරයක් බිහි කොට ඇත. එහෙත් මෙහි කිසිම දෙයක් නැත ඔබ සජීවී වූ තැන තවම හිස්ය.“(පිටුව-229)
ඉතිං මෙ කී හිස් කුහරය පිරවිය හැක්කේ ද අපටමය. යමක් ඇති බව වටහා ගන්නවාට වඩා නැති බව වටහා ගැනීම සබුද්ධික අනාගතයක පෙරනිමිත්තක් විය හැක.
කෘතිය පුරාවටම පරාක්‍රමයන්ගේ කාව්‍යාත්මක භාෂා ශෛලිය ආලෝකමත් හැඟීම් පාඨක මනස තුළ දල්වයි. සැබැවින්ම මෙය වනාහී අතට ගත් පොත බිම තැබීමට නො සිතෙන තරමටම බල සම්පන්න ගද්‍ය කාව්‍යයක් බවට පුන පුනා අවධාරණය කිරීම් අවශ්‍ය නැත. ක්ලැරා ගේ පිටු පෙරළන විටදී එය ප්‍රත්‍යක්ෂයක් බව ඔබටම වැටහේවි.
බාසුරු ජයවර්ධන
basurujayawardana@gmail.com
COMMENTS