දේශප්‍රේමීත්වය, යුධ ජයග්‍රහණය පසුපස හිදින රණවිරු දාතම විසින් අද එකී පැහැරගැනීම්,අතුරුදහන් කිරීම් වසා ගෙන හිදියි. යුක්තිය වෙනුවට වෙන මොනවාද...
ඇය සරෝජා නාගනාදන්ය. 2008 වසරේ සැප්තැම්බර් 17 වැනිදා පැහැර ගැනුණු යෞවනයන් පස් දෙනා අතර සිටි 17 හැවිරිදි රජිව් නාගනාදන්ගේ මවය. පසු දින වෛද්‍ය අධ්‍යාපනය ලැබීම සඳහා විදෙස් ගතවීමේ සුදානමින් සිටි රජිව් 17 වැනිදා සන්ධ්‍යාවේ සිට අදටත් අතුරුදහන්ය. කොළඹ ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලැබූ රජිව්, නාගනාදන් පවුලට සිටි එකම දරුවාය. 2500 වසරක මොකක්දෝ අභිමානයක් ගැන ලොද යන්නට කතා කරන බිමක මව්වරු,පියවරු ගෙවෙන තත්පරයක් තත්පරයක් පාසා මැරි මැරි උපදිති. උකුළෙන් උදුරා ගත් ඒ දරුසෙනෙහස නැවත පැමිණෙන තුරු ඒ ඇස් වල කඳුළු නොවියළෙන බව අපි හොදින්ම දනිමු. හෙට මේ වේදනාව ඔබට විය හැකිය. මට විය හැකිය. ඇතැමෙක් පස්වනක් ප්‍රීතියෙන් හිදින විට තවත් අයෙක් මහමෙරක් තරම් දුක් උහුලමින්ය. ඔවුන් කළ වරදක්ද නැත.
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=Elb-Bk6BdVo&feature=youtu.be[/youtube]
රජිව් නාගනාදන් සහ ඔහුගේ මිත්‍රයන් පැහැර ගෙන ගොස් තිබුණේ නාවික හමුදාවෙන් බව දැන් සැක හැර දැනගෙන අවසන්ය.අතුරුදහන් වූ දින සිට 2011 වසර දක්වාම රජිව් ලද අවස්ථාවෙන් සිය මවට සහ පියාට දුරකථනයෙන් කතා කර තමන් සිටින ස්ථානය, පැහැර ගත් අය පිළිබඳව බොහෝ තොරතුරු ලබා දී තිබුණි. ඒ නිසාවෙන්ම අභිරහසක් වෙන්නට ඉඩ තිබූ එම පැහැර ගැනීම පිළිබඳ තොරතුරු අනාවරණ විය. එහෙත් යුක්තිය තාමත් කල්මරමින් හිඳියි.
" පහුවදා රට යන්න හිටිය නිසා පුතා මට කිව්වා අද දවසම මම අම්මා එක්ක ඉන්නවා කියලා. යාළුවොත් එක්ක කාලා බීලා ඉන්න අතරේ තමයි ඩිලන්ට කවුරුහරි කතාකරලා එන්න කියලා තියෙන්නේ. දරුවෝ ටික ගෙදර කාර් එකෙන් ගියේ. ගියා ගියාමයි අදටත් ගෙදර එන්න බැරි වුණා. කිසිවරදක් නැති දරුවෝ ටිකක් තමයි මේ උදුරා ගෙන ගියේ."
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=cUh_wjxoonI&feature=youtu.be[/youtube]
සිය දරුවන් සොයා ගැනීමට ඔවුන් නොගිය තැනක් නැත. හමුනොවුණු කෙනෙක් නැත. අවසානයේදී සියල්ලෝම ඔවුන් මඟහැර ගොස් තිබුණි. පැහැර ගැනීම පිටුපස දේශපාලන වුවමනාවක් නොතිබුණ බවත් එය කප්පම් ගැනීමේ අරමුණින් කරන ලද්දක් බවට මේ මව් පියන් සාක්ෂි සපයයි. රජිව් නාගනාදන් නිදහස් කිරීමට එම මව් පියන්ගෙන් රු.කෝටියක මුදලක් ඉල්ලා තිබුණි. සිද්ධියට සම්බන්ධ බවට සැක පිට මේ වන විට නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී.දසනායක අත්අඩංගුවේය. කොළඹ චෛත්‍ය පාරේ පිහිටි නාවික හමුදා කඳවුරේත් වැලිසර නාවික හමුදා කඳවුරේත් අවසාන වශයෙන් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේත් සිසුන් රඳවා ගෙන සිට ඇත. සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරණ්‍නාගොඩවද මේ මව් පියන් දැනුවත් කර තිබේ. එහෙත් සිදුවූ යහපතක් නොමැත. බොහෝ දේ අනාවරණය වූ මෙම පැහැර ගැනීමේ සිදුවීම පිළිබඳව වසර නවයක් යනතෙක්ම අග මුල ලිහා නොදෙන්නට තව බොහෝ කාරණා බලපාන්නට ඇත. එහෙත් මානව හිමිකම් වලට ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සමාජයක මෙවැනි අනාරක්ෂිත බවක් තිබීම සාධාරණය කිරීමට නොහැකිය. රජිව්ලා පමණක් නොව තවත් බොහොමයක් දෙනා අද අතුරුදහන් ගොඩේය. මේ මිනිසුන්ට කවදා සාධාරණය, යුක්තිය ඉටුවේද?
සිය ආදරණීයයන් අහිමි වීමේ වේදනාව ඔවුන් ඕනෑවටත් වඩා විඩාවට පත්කර තිබේ. සිය දරුවන් අද එයි හෙට එයි කියන බලාපොරොත්තුව ඔවුන් ජිවත් කරවමින් හිඳියි. දැන්වත් මේ මිනිසුන්ගේ පපුවේ නළියන වේදනාව කාට කාටත් වැටහිය යුතුය.
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=tFR9ZosyfsU[/youtube]
ආශිකා බ්‍රාහ්මණ / නිශාන්ත ප්‍රියදර්ශන
COMMENTS