විජයකලාගෙන් මාධ්‍ය සංදර්ශන සිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක් කොට ඝාතනය කිරීමේ අපරාධයෙහි ප්‍රධාන සැකකරු වන මහාලිංගම් ශශීකුමාර් හෙ...
විජයකලාගෙන් මාධ්‍ය සංදර්ශන
සිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක් කොට ඝාතනය කිරීමේ අපරාධයෙහි ප්‍රධාන සැකකරු වන මහාලිංගම් ශශීකුමාර් හෙවත් ස්විස් කුමාර්ට පළා යාමට උපකාර කිරීම සම්බන්ධයෙන් විජයකලා මහේශ්වරන්ට චෝදනා එල්ල වී තිබේ. මේ පිළිබඳව අදාල නඩුව විභාග වන අවස්ථාවේ දී ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඇගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා මෙන් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබිණි. මේ පිළිබඳව රටේ සියළුම පාහේ ප්‍රධාන මාධ්‍ය පසුගිය සතියේ වාර්තා කර ද තිබිණි.
සීනි වෙනයි ගෝනි වෙනයි
එහෙත් අද දින විජයකලා මහේශ්වරන් ඇමතිනිය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ අදාල නිවේදනය ඇය වෙත නොලැබුණු බවය. එසේම අධිකරණය හමුවේ නඩුවක් විභාග වන බැවින් අදාල චෝදනාව පිළිබඳව තමන්ට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ද ඇය මාධ්‍යයට පවසා තිබිණි. අධිකරණය හමුවේ නඩුව විභාග වන්නේ විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කොට ඝාතනය කිරීම පිළිබඳව ය. ශ්‍රී ලංකාවේ ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිනිය වන විජයකලා මහේශ්වරන්ට චෝදන එල්ල වී ඇත්තේ එකී පාසැල් දැරියට එම අපරාධය කළා වූ ප්‍රධාන සැකකරුට පළා යාම සඳහා උපකාර කිරීම සහ නීති විරෝධී රැකවරණ ලබා දීම තුළින් යුක්තිය ඉටු කිරීම නොතකා හැරීම පිළිබඳව ය. අධිකරණයෙහි විභාග වන නඩුව මේ පිළිබඳව කතා කිරීමට බාධාවක් වන්නේ නැත.
විමර්ශන මඟ හැරීම බෝවෙන ලෙඩක්ද ?
නිවේදනය ඇය වෙත නොලැබුණේ නම් ඇය බේරාගත යුත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් සමඟ ය. එය මාධ්‍ය සංදර්ශන මඟින් කළ හැක්කක් නොවේ. කෙසේ වෙතත් රටම කළඹවා ලූ, එසේම අපරාධයෙන් සෑහෙන තරම් කාලයකුත් ගත වූ සිද්ධීන් සම්බන්ධ විමර්ශනයන්ට සහයෝගය නොදී මඟ හැරීම දේශපාලන චරිතවලට බෝවෙන රෝගයක් මෙන් පැතිර යන බව පෙනේ. පසුගිය සතියේ තාජුඩීන් ඝාතන විමර්ශන කටයුතු සඳහා ශිරන්ති රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීයේ නැත. යෝශිත රාජපක්ෂ ද පැමිණියේ නැත. මේ සතියේ විද්‍යා ඝාතනය පිළිබඳව විජයකලා පැමිණ නැත. මේ ක්‍රමයට නම් රටක නීතිය කොහෙත් ම ක්‍රියාත්මක කිරීමට වන්නේ ද නැත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පිළිපැදීමට ය. එක එක්කෙනාගේ අපල දුරු වෙන තුරු උඩ බලාගෙන සිටීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරියක් නොවේ. අපට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කියන්නට ඇත්තේ ඒ පැත්තේ හෝ මේ පැත්තේ බලය ඉදිරියේ හතරට නොනැමී තම රාජකාරිය කරන්නැයි කියාය. නැතොත් CIDයට බෙදන්නට වෙන්නේ ද විජයකලා ලාට, ශිරන්තිලාට බෙදන හැන්දෙන් මය.
සබැඳි පුවත් -
විද්‍යා ඝාතනයේ සැකකරු නිදහස් කිරීම - ලලිත් ජයසිංහ පසුපස ළමා කටයුතු ඇමතිනියත්
COMMENTS