හතළිස් අවුරුද්දක් පුරා ඌරන් ඇතිකරන මිනිසෙක් හිටියා. ඒ ඌරුකොටුවේ එක ඊරියක් දවසක්දා ඊරි ලීලාවෙන් තමන්ගෙම පැටවෙකුගෙ පාදයක් උඩ හිටගත්තා. කකුල...
හතළිස් අවුරුද්දක් පුරා ඌරන් ඇතිකරන මිනිසෙක් හිටියා. ඒ ඌරුකොටුවේ එක ඊරියක් දවසක්දා ඊරි ලීලාවෙන් තමන්ගෙම පැටවෙකුගෙ පාදයක් උඩ හිටගත්තා. කකුල ටිකක් චප්ප වෙලා පැටියට තුවාළ වුණා. අයිතිකාරයට සිද්ධ වුණා, පැටියව ඌරුකොටුවෙන් එළියට අරගන්න. එළියට ආව ඌරු පැටියා නිතරම ගැවසුණේ තාරාවෙක් එක්ක. ඇය තාරාවියක්. ටික කාලෙකින් මේ දෙන්නා ගජ යාළුවො බවට පත්වුණා. කොයිතරම් යාළුවොද කියනව නම්, මේ දෙන්නටම උදේට කෑම දෙන්න සිද්ධ වුණෙත් එකම වෙලාවකට.
ඌරු පැටියගෙ දැන් වයස මාස 2 ක්. තාරාවියත් දැන් පෙම්වතියක් වෙන වයසට ඇවිත්. ටික දවසක ඉඳන් උදේ කෑම කෑවයින් පස්සෙ මේ දෙන්න අතුරුදහන් වෙනවා. එක දිගට දවස් දහයක් විතර මෙහෙම සිද්ධ වෙනකොට අයිතිකාරයට හිතුණා, මේක ගැන හොයල බලන්න. අයිතිකාරයා දවසක් හොර බළලෙක් වගේ ඌරු පැටියයි, තාරාවියයි පස්සෙන් ගියා. ඌරු පැටියා කෛරාටිකයා. ටික වෙලාවක් ගියාම එයාට තේරුණා, අයිතිකාරයා එයා පස්සෙන් එනව කියලා. එයා හොර පාරකින්, වැටවල් අස්සෙන් එහෙම රිංගන්න පටන් ගත්තා. හොරැහින් අයිතිකාරයා දිහා බැලුවා. අයිතිකාරයත් වැඩේ අතඇරියෙ නෑ, දිගටම පස්සෙන් එනවා. බැරිම තැන ඌරු පැටියා දසදින ක්‍රියාන්විත මෙහෙයුමක් සිද්ධ වෙච්ච භූමියකට අයිතිකාරයව එක්කකරගෙන ගියා.!
අන්තිමට බලද්දි තාරාවිය මවක් වෙලා. එයා බිත්තර 23 ක් රකිමින් හිටියා. තවම ළමිස්සියක් නිසා ඒකවත් හරියට කරන හැටි දැනගෙන හිටියෙ නෑ. බිත්තර වලින් හතරෙන් එකක්” ඇගේ බඩවතින් එළියෙ! ඉතින් අර හතරෙන් එකම රැකල දීල තියෙන්නෙ ඌරු පැටියා! එයා” “හරිනෙ, ඕකනෙ බලාගන්න ඕනෙ වුණේ” වගේ හැඟීමකින් අයිතිකාරය දිහා බැලුවා. ඊට පස්සෙ එක බිත්තරයක්වත් නොකැඩෙන විදිහට තාරා බිත්තර අතර තිබුණු පුංචි ඉඩට පරිස්සමෙන් අඩි තියල, බොහොම මහත්මා ලීලාවෙන් හා සෙමෙන් බිත්තර උඩ වාඩිගත්තා. බිත්තර පහක් විතර බඩවතට යට කර ගත්තා.
මේ සෙල්ලම නැවතුණේ තවත් දවස් පහකට පස්සෙ. ඒ කියන්නෙ ඌරු පැටිය රකිමින් හිටිය තාරා බිත්තර නිසරුයි කියල තාරාවියට තේරුණායින් පස්සෙ.
ඌරු පැටිය දැන් ගජ ඉළන්දාරියෙක්. තාරාවියත් එහෙමයි. දීග තලහ දෙන වයසෙ. හැබැයි දැන්නම් ඌරා බැරි වෙලාවකින්වත් ඇය දිහා බලන්නෙ නෑ..!
මේ තවත් කතාවක්.
සැන්ඩි කියන්නෙ අවුරුදු දහයක් විතර වයස, ලැබ්‍රඩොර් වර්ගයේ සුනඛ හාදයෙක්. සුනඛ ජීවන චක්‍රය අනුව නම් ඇත්තටම ඉතින් එයා දැන් සීයා කෙනෙක්. සැන්ඩිට වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන්න ඕනෙ මට්ටමේ තුවාළ කිහිපයක් ඇඟේ ඇතිවෙලා තිබුණා. ගෙදර අය එයාව පශුවෛද්‍යවරයා ළඟට අරන් ගියා. පශුවෛද්‍යවරයා හිටියෙ මීටර 500 ක් විතර ළඟ. ඊට පස්සෙ තුවාළ මහලා, සැරහුම් දාලා බෙහෙත් දැම්මා. මැහුම් කපන්න සති දෙකකින් සැන්ඩිව එක්කරගෙන එන්න කියලා අයිතිකාරයට කිව්වා.
අයිතිකාරයා ඊට පස්සෙ ගෙදර හිටියෙ නෑ. ඔහුට දුර ගමනක් යන්න සිද්ධ වුණා. දවස් දහයකට විතර පස්සෙ ඔහු ගෙදර ආවම මතක් කරලා, තුවාළවල තත්වය පරීක්ෂා කරල බැලුවා. ඒවා කිසිම දෝසයක් නැතිව සනීප වෙමින් තිබුණා. සති දෙක අවසන් වෙද්දි මැහුම් පවා තිබුණු තැනක්වත් හොයාගන්න බැහැ. එහෙව් එකේ දොස්තර ළඟට යන්නෙ මොකටද? සැන්ඩිත් දැන් ඉළන්දාරියෙක් වගේ සන්තෝසෙන් ඉන්නවා. ඉතින් අයිතිකාරයා තීරණය කළා පශුවෛද්‍යවරයා ළඟට යා යුතුයි කියන කොන්දේසිය අමතකකරල දාන්න.
කොහොම හරි මාස තුනකට පස්සෙ අයිතිකාරයට ආයෙමත් අර කිව්ව පශුවෛද්‍යවරයා ළඟට යන්න සිද්ධ වුණා. සැන්ඩිට වාර්ෂික එන්නත ලබාදෙන්න කාලෙ හරි නිසා. අයිතිකාරයට දොස්තර මහත්තයගෙ මූණ බලන්නත් මොකක්ද වගේ. ඔහු පැකිළි පැකිළි කිව්වා, මම ආවෙ නැත්තෙ මේ හේතුව නිසයි, සැන්ඩිගෙ තුවාළ මැහුම් අයින් කරන්න දෙයක් නැති තරමට ඉක්මනින්ම සනීප වුණා කියලා.
පශු වෛද්‍යවරයා මහ හයියෙන් හිනා වුණා. සැන්ඩි ගැන කිව්වා. අයිතිකාරයා ගෙදර නැති වෙලාවෙ සැන්ඩිම ගිහින් දොස්තර මුණ ගැහෙන්න! දවස් දෙකකට සැරයක් වගේ සැන්ඩි ඇවිත් දොස්තරගෙ ඛාමරේ දොරකඩ හිටගෙන ඉන්න පටන් ගත්ත කියල දොස්තර කියලා. සැන්ඩිගෙ උවමනාව තේරුම්ගත්ත දොස්තර මහත්තයත් සැන්ඩිව අල්ලල බෙහෙත් දාලා. තුවාළ සනීප වෙනකල්ම සැන්ඩි ඇවිත් මේ විදිහට තුවාළ සුද්දකරගෙන බෙහෙත් දම්මගත්තා කියල දොස්තර” අයිතිකාරය එක්ක කිව්වා. සති දෙක ඉවරවෙද්දිත්, අයිතිකාරය ගෙදර ඉඳිද්දිත් සැන්ඩි තනියෙන් දොස්තර මුණගැහෙන්න ගිහින්! එදා දොස්තර මැහුම් අයින් කරල කිව්වලු, දැන් ඔයාට සනීපයි, ආයෙත් මෙහෙ නාවට කමක් නෑ කියලා. එයින් පස්සෙ සැන්ඩි දොස්තර මහත්තතයගෙ කාර්යාලය පැත්තෙ පස් පෑගුවෙ නැති බවත්, දොස්තර හිනාවෙමින් කිව්වා.
සත්‍ය කතා දෙකකි.
රීඩර්ස් ඩයිජස්ට් ඇසුරෙන්.
COMMENTS